5. 10.
කප්පමාණවක පෘච්ඡා
1097. (ආයුෂ්මත් කප්පමාණවක මෙසේ විචාරයි:) නිදුකානන් වහන්ස, (පූර්‍ව - අපර කොටීන් නො පැණෙන හෙයින්) මධ්‍යවූ සංසාරයෙහි සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඩනාලද්දවුනට ජාත්‍යාදි මහද්භය ඇති (කාමාදි) ඕඝය උපන් කල්හි ප්‍රතිෂ්ඨාව වදාළ මැනැවි. යම් පරිද්දෙකින් යලි මෙ දුක නො වන්නේ ද, එපරිද්දෙන් මට ප්‍රතිෂ්ඨාව ද වදාළ මැනැවි.
1098. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: කප්පමාණවයෙනි,) මධ්‍ය වූ සංසාරයෙහි සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඩනාලද්දවුනට (ජාත්‍යාදි) මහද්භය ඇති (කාමාදි) ඕඝය උපන් කල්හි කප්පය, තොපට ප්‍රතිෂ්ඨාව දෙසමි.
1099. ප්‍රතිභාග වූ අපර ප්‍රතිෂ්ඨා රහිත වූ තෙල ප්‍රතිෂ්ඨාව රාගාදි කිඤ්චන රහිතය. තෘෂ්ණාදාන රහිත ය. ජරාමරණව්‍යපශමය වූ එය නිර්‍වාණ යයි කියමි.
1100. ස්මෘතිමත් වූ (අනිත්‍යාදි විසින්) දක්නාලද ධර්‍ම ඇති යම් රහත්හු තෙල නිර්‍වාණය දැන ක්ලේශපරිනිර්‍වාණයෙන් පිරිනිවියාහු වෙද්ද, ඔහු මාරවශයට ගියාහු නො වෙති. ඔහු මාරයාගේ මඟ යන්නාහු (පරිවාරකයෝ) නො වෙති යි.
කප්පමාණවක පෘච්ඡා නිමි
5. 11.
ජතුකණ්ණීමාණවක පෘච්ඡා
1101. (ආයුෂ්මත් ජතුකණ්ණීමාණවක මෙසේ ඇසීය:) වීරයන් වහන්ස, මම මුඹ වහන්සේ (කාමයන් නොපතන හෙයින්) අකාමකාමී වූ චතුරෝඝතරණය කළ කෙනෙකැ’යි අසා නිෂ්කාම වූ භාග්‍යවතුන් වහන්සේ පුළුවුස්නට ආයෙමි. සහජාත සර්‍වඥතා ඥානචක්‍ෂුස ඇතියානෙනි, ශාන්තිය හා ශාන්තිපදය හා (නිවන) වදාළ මැනව. භාග්‍යවතුන් වහන්ස, තෙල කරුණ තථ්‍ය වු පරිදි වදාළ මැනවි.
1102. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ තෙදැති හිරු සියතෙදින් පොළොව සෙයින් කාමයන් මැඩ ලා වෙසෙනසේක් ද, එහෙයින් මහාප්‍රාඥයන් වහන්ස, මේ අත් බැව්හි මැ ජාති - ජරාවන්ගෙන් ප්‍රහාණය වූ යම් දහමක් දැනගන්නෙම් නම්, එ දහම මන්‍දප්‍රාඥ වූ මට වදාරණසේක්වා.
1103. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ජතුකණ්ණීයෙනි,) නෛෂ්ක්‍රම්‍යයක්‍ෂේම වශයෙන් දැක වස්තුකාම ක්ලේශකාමයෙහි තෘෂ්ණාව දුරලව, තෘෂ්ණාදෘෂ්ටි විසින් ගන්නාලද්දෙක් හෝ හළයුත්තෙක් හෝ (රාගාදි) කිඤ්චනයෙක් හෝ තොපට නහමක් වේවා.
1104. අතීත සංස්කාර ඇරැබ යම් ක්ලේශජාතයෙක් වේ නම්, එය මාර්‍ගඥානාග්නියෙන් වියළව, අනාගත සංස්කාර ඇරැබැ ද තට කිඤ්චනයෙක් (පලිබෝධයෙක්) නහමක් වේ වා. ඉදින් ප්‍රත්‍යුත්පන්න සංස්කාරයන් තෘෂ්ණාදෘෂ්ටි විසින් නොගන්නෙහි නම් උපශාන්ත ව හැසිරෙන්නෙහි.
1105. බ්‍රාහ්මණය, නාමරූපයන් කෙරෙහි සර්‍වප්‍රකාරයෙන් පහ කළ තෘෂ්ණා ඇති එ රහත්හට යම් ආස්‍රවයන් හේතු කොට ගෙණ මරවසට යේ නම් එ ආස්‍රවයෝ විද්‍යමාන නොවෙති’යි.
ජතුකණ්ණී මාණව පෘච්ඡා නිමි
5. 12.
භද්‍රාවුධමානවක පෘච්ඡා
1106. (ආයුෂ්මත් භද්‍රාවුධ මෙසේ විචාරයි:) පඤ්චකාමගුණාලය දුරැලූ, ෂඩ්විධ තෘෂ්ණාකාය සිඳැලූ, අටෙලෝදහම්හි නොසැලෙන, අනාගත රූපාදිප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත නන්‍දිය හැරපියූ, චතුරෝඝතරණය කළ, කෙලෙසුන් කෙරෙන් මිදුනු, තෘෂ්ණා-දෘෂ්ටිකල්පයන් දුරැලූ ශෝභනප්‍රඥා ඇති තථාගතයන් වෙසෙසින් අයදිමි. නාගයන් වහන්සේගේ ධර්‍මය අසා මෙ පහණසෑයෙන් බොහෝ ජනයෝ නික්ම යෙති.