5. 11.
ජතුකණ්ණීමාණවක පෘච්ඡා
1101. (ආයුෂ්මත් ජතුකණ්ණීමාණවක මෙසේ ඇසීය:) වීරයන් වහන්ස, මම මුඹ වහන්සේ (කාමයන් නොපතන හෙයින්) අකාමකාමී වූ චතුරෝඝතරණය කළ කෙනෙකැ’යි අසා නිෂ්කාම වූ භාග්යවතුන් වහන්සේ පුළුවුස්නට ආයෙමි. සහජාත සර්වඥතා ඥානචක්ෂුස ඇතියානෙනි, ශාන්තිය හා ශාන්තිපදය හා (නිවන) වදාළ මැනව. භාග්යවතුන් වහන්ස, තෙල කරුණ තථ්ය වු පරිදි වදාළ මැනවි.
1102. යම් හෙයකින් භාග්යවතුන් වහන්සේ තෙදැති හිරු සියතෙදින් පොළොව සෙයින් කාමයන් මැඩ ලා වෙසෙනසේක් ද, එහෙයින් මහාප්රාඥයන් වහන්ස, මේ අත් බැව්හි මැ ජාති - ජරාවන්ගෙන් ප්රහාණය වූ යම් දහමක් දැනගන්නෙම් නම්, එ දහම මන්දප්රාඥ වූ මට වදාරණසේක්වා.
1103. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ජතුකණ්ණීයෙනි,) නෛෂ්ක්රම්යයක්ෂේම වශයෙන් දැක වස්තුකාම ක්ලේශකාමයෙහි තෘෂ්ණාව දුරලව, තෘෂ්ණාදෘෂ්ටි විසින් ගන්නාලද්දෙක් හෝ හළයුත්තෙක් හෝ (රාගාදි) කිඤ්චනයෙක් හෝ තොපට නහමක් වේවා.
1104. අතීත සංස්කාර ඇරැබ යම් ක්ලේශජාතයෙක් වේ නම්, එය මාර්ගඥානාග්නියෙන් වියළව, අනාගත සංස්කාර ඇරැබැ ද තට කිඤ්චනයෙක් (පලිබෝධයෙක්) නහමක් වේ වා. ඉදින් ප්රත්යුත්පන්න සංස්කාරයන් තෘෂ්ණාදෘෂ්ටි විසින් නොගන්නෙහි නම් උපශාන්ත ව හැසිරෙන්නෙහි.
1105. බ්රාහ්මණය, නාමරූපයන් කෙරෙහි සර්වප්රකාරයෙන් පහ කළ තෘෂ්ණා ඇති එ රහත්හට යම් ආස්රවයන් හේතු කොට ගෙණ මරවසට යේ නම් එ ආස්රවයෝ විද්යමාන නොවෙති’යි.
ජතුකණ්ණී මාණව පෘච්ඡා නිමි
5. 12.
භද්රාවුධමානවක පෘච්ඡා
1106. (ආයුෂ්මත් භද්රාවුධ මෙසේ විචාරයි:) පඤ්චකාමගුණාලය දුරැලූ, ෂඩ්විධ තෘෂ්ණාකාය සිඳැලූ, අටෙලෝදහම්හි නොසැලෙන, අනාගත රූපාදිප්රාර්ත්ථනා සඞ්ඛ්යාත නන්දිය හැරපියූ, චතුරෝඝතරණය කළ, කෙලෙසුන් කෙරෙන් මිදුනු, තෘෂ්ණා-දෘෂ්ටිකල්පයන් දුරැලූ ශෝභනප්රඥා ඇති තථාගතයන් වෙසෙසින් අයදිමි. නාගයන් වහන්සේගේ ධර්මය අසා මෙ පහණසෑයෙන් බොහෝ ජනයෝ නික්ම යෙති.
1107. වීරයන් වහන්ස, මුඹ වහන්සේගේ වදන් කැමැති වූ නොයෙක් ජනයෝ අඞ්ගාදි ජනපදයෙන් රැස්වූහු ය.. උනට මුඹ වහන්සේ දහම් දෙසුව මැනැවැ’යි යදිම්. යම් හෙයෙකින් මුඹ වහන්සේ විසින් තෙල ලෝකෝත්තරධර්මය දන්නාලද ද එහෙයිනි.
1108. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ: භද්රාවුධයෙනි,) අතීතානාගතවර්තමානයෙහි වූ හැම ආදාන තෘෂ්ණාව දුරු කරව්. යම් හෙයකින් ලෝකයෙහි (අතීතරූපාදී) යම් යම් වස්තුවක් දැඩි කොට ගණිත් ද, එහෙයින් මැ ස්කන්ධමාර තෙම සත්ත්වයා නොදන්නේය.
1109. එහෙයින් ස්මෘතිමත් වූ (සර්වසංස්කාරයන් අනිත්යාදිවශයෙන්) දන්නා වූ මහණ තෙම මෙ ප්රජාව මෘත්යුධෙයයෙහි ඇලුනැ’යි දක්මින් (රූපාදි) ආදානයෙහි සියලු ලොවැ (රූපාදි) කිසිවක් ගන්නේ යි.
භද්රාවුධමාණවක පෘච්ඡා නිමි.
5. 13.
උදයමාණවක පෘච්ඡා
1110. (උදය මාණවක මෙසේ ඇසීය) ධ්යාන කරනසුලු විගත රජස් ඇති වැ වැඩහුන් සිවුමගින් කළ (සොළොස් ) කිස ඇති අනාස්රව වූ සර්වධර්මයන්ගේ පරතෙර පත් වූ භාග්යවතුන් වහන්සේ වෙත ප්රශ්නාර්ත්ථී වැ ආයෙමි, අවිද්යාව බිඳුනා වූ අඤ්ඤා විමොක්ඛ සංඛ්යාත නිර්වාණය වදාළ මැනැවි.
1111. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: උදයමාණවයෙනි,) කාමච්ඡන්දයන්ගේ ද දොම්නසුන්ගේ ද යන දෙදෙනාගේ ප්රහාණය ද ථින මිද්ධයාගේ දුරැලීම ද කෞකෘත්යයාගේ වැළැහීම ද ඇති -
1112. චතුර්ත්ථධ්යානෝපේක්ෂා ස්මෘති යන දෙකින් සංශුද්ධිය ඇති ධර්මතර්ක සංඛ්යාත සම්යක් සංකල්පය පෙරටුකොට ඇති අර්හත්ඵල විමෝක්ෂය අවිද්යාවගේ බිඳුමැයි කියමි.
1113. (ආයුෂ්මත් උදයමාණවක මෙසේ අසයි:) ලෝක සත්ත්වයා කුමක් සංයෝජන (බන්ධන) කොට ඇත්තේ ද? එ සත්ත්වයාගේ විචාරණය (හැසිරීමට කරුණ ) කිම? කවර දහමක් හුගේ විශේෂ ප්රහාණයෙන් නිවනැ ‘යි කියනු ලැබේ ද?