5. 12.
භද්‍රාවුධමානවක පෘච්ඡා
1106. (ආයුෂ්මත් භද්‍රාවුධ මෙසේ විචාරයි:) පඤ්චකාමගුණාලය දුරැලූ, ෂඩ්විධ තෘෂ්ණාකාය සිඳැලූ, අටෙලෝදහම්හි නොසැලෙන, අනාගත රූපාදිප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත නන්‍දිය හැරපියූ, චතුරෝඝතරණය කළ, කෙලෙසුන් කෙරෙන් මිදුනු, තෘෂ්ණා-දෘෂ්ටිකල්පයන් දුරැලූ ශෝභනප්‍රඥා ඇති තථාගතයන් වෙසෙසින් අයදිමි. නාගයන් වහන්සේගේ ධර්‍මය අසා මෙ පහණසෑයෙන් බොහෝ ජනයෝ නික්ම යෙති.
1107. වීරයන් වහන්ස, මුඹ වහන්සේගේ වදන් කැමැති වූ නොයෙක් ජනයෝ අඞ්ගාදි ජනපදයෙන් රැස්වූහු ය.. උනට මුඹ වහන්සේ දහම් දෙසුව මැනැවැ’යි යදිම්. යම් හෙයෙකින් මුඹ වහන්සේ විසින් තෙල ලෝකෝත්තරධර්‍මය දන්නාලද ද එහෙයිනි.
1108. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: භද්‍රාවුධයෙනි,) අතීතානාගතවර්‍තමානයෙහි වූ හැම ආදාන තෘෂ්ණාව දුරු කරව්. යම් හෙයකින් ලෝකයෙහි (අතීතරූපාදී) යම් යම් වස්තුවක් දැඩි කොට ගණිත් ද, එහෙයින් මැ ස්කන්‍ධමාර තෙම සත්ත්‍වයා නොදන්නේය.
1109. එහෙයින් ස්මෘතිමත් වූ (සර්‍වසංස්කාරයන් අනිත්‍යාදිවශයෙන්) දන්නා වූ මහණ තෙම මෙ ප්‍රජාව මෘත්‍යුධෙයයෙහි ඇලුනැ’යි දක්මින් (රූපාදි) ආදානයෙහි සියලු ලොවැ (රූපාදි) කිසිවක් ගන්නේ යි.
භද්‍රාවුධමාණවක පෘච්ඡා නිමි.
5. 13.
උදයමාණවක පෘච්ඡා
1110. (උදය මාණවක මෙසේ ඇසීය) ධ්‍යාන කරනසුලු විගත රජස් ඇති වැ වැඩහුන් සිවුමගින් කළ (සොළොස් ) කිස ඇති අනාස්‍රව වූ සර්‍වධර්‍මයන්ගේ පරතෙර පත් වූ භාග්‍යවතුන් වහන්සේ වෙත ප්‍රශ්නාර්ත්‍ථී වැ ආයෙමි, අවිද්‍යාව බිඳුනා වූ අඤ්ඤා විමොක්ඛ සංඛ්‍යාත නිර්‍වාණය වදාළ මැනැවි.
1111. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: උදයමාණවයෙනි,) කාමච්ඡන්‍දයන්ගේ ද දොම්නසුන්ගේ ද යන දෙදෙනාගේ ප්‍රහාණය ද ථින මිද්ධයාගේ දුරැලීම ද කෞකෘත්‍යයාගේ වැළැහීම ද ඇති -
1112. චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂා ස්මෘති යන දෙකින් සංශුද්ධිය ඇති ධර්‍මතර්‍ක සංඛ්‍යාත සම්‍යක් සංකල්පය පෙරටුකොට ඇති අර්‍හත්ඵල විමෝක්‍ෂය අවිද්‍යාවගේ බිඳුමැයි කියමි.
1113. (ආයුෂ්මත් උදයමාණවක මෙසේ අසයි:) ලෝක සත්ත්‍වයා කුමක් සංයෝජන (බන්‍ධන) කොට ඇත්තේ ද? එ සත්ත්‍වයාගේ විචාරණය (හැසිරීමට කරුණ ) කිම? කවර දහමක් හුගේ විශේෂ ප්‍රහාණයෙන් නිවනැ ‘යි කියනු ලැබේ ද?