5. 13.
උදයමාණවක පෘච්ඡා
1110. (උදය මාණවක මෙසේ ඇසීය) ධ්‍යාන කරනසුලු විගත රජස් ඇති වැ වැඩහුන් සිවුමගින් කළ (සොළොස් ) කිස ඇති අනාස්‍රව වූ සර්‍වධර්‍මයන්ගේ පරතෙර පත් වූ භාග්‍යවතුන් වහන්සේ වෙත ප්‍රශ්නාර්ත්‍ථී වැ ආයෙමි, අවිද්‍යාව බිඳුනා වූ අඤ්ඤා විමොක්ඛ සංඛ්‍යාත නිර්‍වාණය වදාළ මැනැවි.
1111. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: උදයමාණවයෙනි,) කාමච්ඡන්‍දයන්ගේ ද දොම්නසුන්ගේ ද යන දෙදෙනාගේ ප්‍රහාණය ද ථින මිද්ධයාගේ දුරැලීම ද කෞකෘත්‍යයාගේ වැළැහීම ද ඇති -
1112. චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂා ස්මෘති යන දෙකින් සංශුද්ධිය ඇති ධර්‍මතර්‍ක සංඛ්‍යාත සම්‍යක් සංකල්පය පෙරටුකොට ඇති අර්‍හත්ඵල විමෝක්‍ෂය අවිද්‍යාවගේ බිඳුමැයි කියමි.
1113. (ආයුෂ්මත් උදයමාණවක මෙසේ අසයි:) ලෝක සත්ත්‍වයා කුමක් සංයෝජන (බන්‍ධන) කොට ඇත්තේ ද? එ සත්ත්‍වයාගේ විචාරණය (හැසිරීමට කරුණ ) කිම? කවර දහමක් හුගේ විශේෂ ප්‍රහාණයෙන් නිවනැ ‘යි කියනු ලැබේ ද?
1114. ලෝකසත්ත්‍වයා තෘෂ්ණාව සංයෝජන කොට ඇතියේ ය. විතර්‍කය ඔහට විචාරණය වේ. ඒ තෘෂ්ණාවගේ විප්‍රහාණයෙන් නිර්‍වාණ යැ’යි කියනු ලැබේ.
1115. (ආයුෂ්මත් උදයමාණව මෙසේ ඇසීය:) ස්මෘති සම්පන්න ව වාසය කරන්නහුගේ විඥානය කි සෙයින් නිරුද්ධ වේ ද? භාග්‍යවතුන් වහන්සේ පුළුවුස්නට පැමිණියම්හ. මුඹ වහන්සේගේ ඒ බස් අසම්හ.
1116. අධ්‍යාත්මාලම්බනයෙහි ද බාහිරාලම්බනයෙහි ද උපදනා වේදනාව නො පතන, ස්මෘතිමත් වැ හැසිරෙණුවහුගේ විඥානය මෙසේ නිරුද්ධවේ යයි.
උදයමාණව පෘච්ඡා නිමි.
5. 14.
පෝසාලමාණවක පෘච්ඡා
1117. (ආයුෂ්මත් පෝසාල මාණවක මෙසේ විචාරයි:) එජා සංඛ්‍යාත තෘෂ්ණා රහිත වූ සිඳුනා ලද සැක ඇති, යම් සර්‍වඥ කෙනෙක් ස්වකීයවූ ද පරකීය වූ ද අතීතය (පූර්‍වනිවානුස්මෘති ඥානයෙන්) ප්‍රකාශ කෙරෙත් ද, සියලු ධර්‍මයන්ගේ පාරිමතිරප්‍රාප්ත වූ එ සර්‍වඥයන් කරා ප්‍රශ්නයෙන් අර්ත්‍ථීව පැමිණියෙම් වෙමි.
1118. ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්ස, මොනොවට ඉක්මවන ලද රූපසංඥා ඇති, තදංග - විෂ්කම්භණ වශයෙන් හැම රූපකාය ප්‍රහාණය කරනසුලු අධ්‍යාත්මයෙහිත්, බාහිරයෙහිත් කිසිවක් නැතැ’යි දක්නාහු (ආකිඤ්චඤ්ඤායතනලාභීහු) ගේ ඥානය පුලුවුස්මි. ඒ බඳු වූ පුද්ගල තෙම කිසෙයින් මත්තෙහි ඥානයට පැමිණවිය යුත්තේ ද?
1119. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: පෝසාලයෙනි), තථාගතයෝ හැම විඥානස්ථිතීන් වෙසෙසින් දන්නාහු ආකිඤ්චඤ්ඤායතනයෙහි අධිමුක්ත වූ එය මැ පරායණ කොට ඇති මෙ පුඟුලා දන්නාහ.
1120. ආකිඤ්චඤ්ඤායතනයෙහි උපදවන අරූපරාග සංඛ්‍යාත නන්‍දිය සංයෝජනයෙකැ’යි මෙසේ විශිෂ්ට ඥානයෙන් දැන ඉක්බිති එහි අනිත්‍යාදි විසින් විදර්‍ශනා (භාවනා) කරන්නේ ය. වැස නිම වූ මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යවාසය ඇති බාහිතතාපී වූ එ රහත්හුගේ තෙල අර්‍හත්‍ව ඥානය අවිපරීත වේ යයි.
පෝසාලමාණව පෘච්ඡා නිමි.