5. 14.
පෝසාලමාණවක පෘච්ඡා
1117. (ආයුෂ්මත් පෝසාල මාණවක මෙසේ විචාරයි:) එජා සංඛ්‍යාත තෘෂ්ණා රහිත වූ සිඳුනා ලද සැක ඇති, යම් සර්‍වඥ කෙනෙක් ස්වකීයවූ ද පරකීය වූ ද අතීතය (පූර්‍වනිවානුස්මෘති ඥානයෙන්) ප්‍රකාශ කෙරෙත් ද, සියලු ධර්‍මයන්ගේ පාරිමතිරප්‍රාප්ත වූ එ සර්‍වඥයන් කරා ප්‍රශ්නයෙන් අර්ත්‍ථීව පැමිණියෙම් වෙමි.
1118. ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්ස, මොනොවට ඉක්මවන ලද රූපසංඥා ඇති, තදංග - විෂ්කම්භණ වශයෙන් හැම රූපකාය ප්‍රහාණය කරනසුලු අධ්‍යාත්මයෙහිත්, බාහිරයෙහිත් කිසිවක් නැතැ’යි දක්නාහු (ආකිඤ්චඤ්ඤායතනලාභීහු) ගේ ඥානය පුලුවුස්මි. ඒ බඳු වූ පුද්ගල තෙම කිසෙයින් මත්තෙහි ඥානයට පැමිණවිය යුත්තේ ද?
1119. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: පෝසාලයෙනි), තථාගතයෝ හැම විඥානස්ථිතීන් වෙසෙසින් දන්නාහු ආකිඤ්චඤ්ඤායතනයෙහි අධිමුක්ත වූ එය මැ පරායණ කොට ඇති මෙ පුඟුලා දන්නාහ.
1120. ආකිඤ්චඤ්ඤායතනයෙහි උපදවන අරූපරාග සංඛ්‍යාත නන්‍දිය සංයෝජනයෙකැ’යි මෙසේ විශිෂ්ට ඥානයෙන් දැන ඉක්බිති එහි අනිත්‍යාදි විසින් විදර්‍ශනා (භාවනා) කරන්නේ ය. වැස නිම වූ මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යවාසය ඇති බාහිතතාපී වූ එ රහත්හුගේ තෙල අර්‍හත්‍ව ඥානය අවිපරීත වේ යයි.
පෝසාලමාණව පෘච්ඡා නිමි.
5. 15.
මෝඝරාජ පෘච්ඡා
1121. (ආයුෂ්මත් මෝඝරාජ මෙසේ ඇසීය:) මම දෙවටක් ශාක්‍ය මුනිහු විචාළෙමි, පසැස් ඇති මුනිහු මට නො දෙසූහ. දෙවර්ෂීහු තෙවනුවට දක්වා විචාරන ලද්දාහු ප්‍රකාශ කරන්නාහ’යි මා විසින් අසන ලද.
1122. මෙ මිනිස්ලෝ වැසි තෙමේ ද, අන්ලෝ වැසි තෙමේ ද දෙවියන් සහිත බඹලෝ වැසි තෙමේ ද යශස්වී වු ගෞතම ගෝත්‍ර ඇති මුඹ වහන්සේගේ දෘෂ්ටිය නොදන්නේ ය.
1123. මෙසේ පරමදර්ශී වූ සර්‍වඥයන් වහන්සේ කරා පැන පුළුවුස්නෙන් අර්ත්‍ථී ව ආයෙමි. ලොව කිසෙයින් බලන්නාහු මෘත්‍යුරාජ තෙමේ නො දක්නේ ද?
1124. මෝඝරාජය හැමකල්හි ස්මෘතිමත් වැ සත්කාය දෘෂ්ටිය දුරු කොට ලෝකය ශූන්‍ය හෙයින් බලව, මෙ සෙයින් මෘත්‍යුහු ඉක්මවන්නෙහි මෙසෙයින් ලොව දක්නහු මෘත්‍යුරාජ තෙම නොදක්නේ යයි,
මෝඝරාජ මාණව පෘච්ඡා නිමි.
5. 16.
පිඞ්ගියමාණව පෘච්ඡා
1125. (ආයුෂ්මත් පිඞ්ගිය මෙසේ විචාරයි) මම ජීර්‍ණයෙමි, දුර්‍වලයෙමි, විවර්‍ණයෙමි, (මාගේ) නේත්‍රයෝ ශුද්ධ නො වෙති, ශ්‍රවණය ද පහසු නැත, මම (මුඹ වහන්සේගේ දහම් පසක් නොකොට) අතුරෙහි මැ මුළා වූ යෙම් නහමක් මියෙම්වා. මේ පහණසෑවෙහෙරෙහි මැ ජාති ජරාවන්ගේ ප්‍රහාණය වූ යම් දහමක් අසා මම දැනගන්නෙම් නම්, එ දහම වදාළ මැනැව.
1126. (බුදුහු මෙසේ වදාළහ: පිඞගියෙනි,) රූප නිමිතින් නැසෙන වුන් දැක (කුශලධර්‍මයන්හි) ප්‍රමත්ත වූ ජනයෝ රූපයන් නිමිති කොට පෙළෙති. පිඞ්ගිය, තෙපි (කුශලධර්‍මයෙහි) අප්‍රමත්තව පුනර්‍භවය නො වනු පිණිස රූපය දුරු කරව.