5. 7.
නන්දමාණව පෘච්ඡා
1081. (ආයුෂ්මත් නන්දමාණවක මෙසේ විචාරයි:) ලොව්හි ක්ෂත්රියාදි ජනයෝ (ආජීවක නිගණ්ඨාදි) මුනිහු ඇතැයි කියත්. එය කෙසේ ද? (සමාපත්ති, අභිඥා) ඥානයෙන් සමුපේත වූවහු මුනි යයි කියත් ද? නොහොත් රූක්ෂජීවිතයෙන් සමුපේත වූවහු මුනි යයි කියත් ද?
1082. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ:) නන්දයෙනි, මෙසස්නෙහි ස්කන්ධාදියෙහි හෝ) දක්ෂයෝ දෘෂ්ටියෙන්, ශ්රැතියෙන් ඥානයෙන් මුනි යයි නො කියත්. යම් කෙනෙක් කෙලෙස් ස්නේහ නසා (රාගාදි) ව්යසන රහිත වැ නිරාශ වැ හැසිරෙත් නම්, ඔහු මුනිහු යයි මම කියමි.
1083. (ආයුෂ්මත් නන්දමාණවක මෙසේ විචාරයි:) භාග්යවතුන් වහන්ස, යම් කිසි මහණ බමුණු කෙනෙක් දෘෂ්ටියෙනුදු ශ්රැතයෙනුදු ශුද්ධිය (මුක්තිය) කියත් නම්, ශීලව්රතයෙනුදු ශුද්ධිය කියත් නම්, අනේකවිධ කොතුහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් නම්, නිදුකානන් වහන්ස කිම, (ඒ දෘෂ්ටිගතිකයෝ) එ දෘෂ්ටියෙහි ගුප්ත වැ වෙසෙන්නාහු ජාතියත් ජරාවත් තරණය කළාහු ද? භාග්යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළමැනැවි.
1084. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ: නන්දයෙනි,) මෙ යම් කිසි මහණබමුණු කෙනෙක් දෘෂ්ටියෙනුදු ශ්රැතයෙනුදු ශුද්ධිය කියත් නම්, ශීලව්රතයෙනුදු ශුද්ධිය කියත් නම්, අනේකවිධ කොතුහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් නම්, වැලිත් ඔහු එ දෘෂ්ටියෙහි ගුප්ත වැ වෙසෙත් නම් (ඔහු) ජාතිය හා ජරාව තරණය නො කළහ’යි කියමි.
1085. (ආයුෂ්මත් නන්දමාණවක මෙසේ විචාරයි:) භාග්යවතුන් වහන්ස, මෙ යම් කිසි මහණබමුණු කෙනෙක් දෘෂ්ටියෙනුදු ශ්රැතයෙනුදු ශුද්ධිය කියත් ද ශීල ව්රතයෙනුදු ශුද්ධිය කියත් ද අනේකවිධ කොතුහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් ද,
1086. මුනීන්ද්රයන් වහන්ස. ඉදින් ඒ දෘෂ්ටිගතිකයන් ඕඝතරණය නො කළවුනැ’යි වදාරණසේක් නම්, නිදුකානන් වහන්ස, එසේවත් මැ දෙව්මිනිස් ලොව්හි කවර කෙනෙක් ජාතියත් ජරාවත් තරණය කළාහු ද? භාග්යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළ මැනැවි.
1087. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: නන්දයෙනි,) මම හැම මහණබමුණෝ ජාතිජරා විසින් අවුරණලදහ’යි නො කියමි. මේ ලොව්හි යම් කෙනෙක් හැම දෘෂ්ටිශුද්ධිය ද ශ්රැතශුද්ධිය ද මුතශුද්ධිය ද ශීලව්රතශුද්ධිය ද හැරපියා හැම අනේකවිධ කොතුහලමඞ්ගලශුද්ධිය ද හැරපියා තෘෂ්ණාව පිරිසිඳ දැන අනාස්රව වූහු ද ඒ පුද්ගලයෝ එකැතින් ඕඝතරණය කළහ’යි කියමි.
1088. (ආයුෂ්මත් නන්දමාණවක මෙසේ කියයි:) මහර්ෂී වූ මුඹ වහන්සේගේ තෙල භාෂිතය මම සතුටින් පිළිගණිමි. ගෞතමයන් වහන්ස, උපධි රහිත වූ නිවණ මොනොවට ප්රකටකරණලද ය මෙ ලොව්හි යම් කෙනෙක් හැම දෘෂ්ටශුද්ධිය ද ශ්රැතශුද්ධිය ද මුතශුද්ධිය ද ශීලව්රතශුද්ධිය ද හැරපියා හැම අනේකවිධ වූ කොතුහලමඞ්ගලශුද්ධිය ද හැරපියා ත්රිවිධ පරිඥායෙන් තෘෂ්ණාව පිරිසිඳ දැන අනාස්රව වූහු නම් මම ද ඔහු ඕඝතරණය කළහ’යි කියමි.
නන්දමාණව පෘච්ඡා නිමි.