5. 6.
උපසීවමාණව පෘච්ඡා
1073. (ආයුෂ්මත් උපසීව මෙසේ ඇසී:) ශාක්යමුනීන්ද්රයන් වහන්ස, එකලා වූ මම (කිසි පුඟුලකු හෝ දහමක් හෝ) ඇසුරු නො කෙළෙම් (කාමාදි) මහත් ඕඝතරණය කරන්නට නො හැකි වෙමි. සමතැස් ඇති සර්වඥයන් වහන්ස, යම් කිසි දහමක් හෝ පුඟුලකු ඇසුරු කෙළෙම් මේ කෙලෙස්වතුරු තරණය කෙරෙම් නම් ඒ නිඃශ්රය වදාරණසේක්වා.
1074. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: උපසීවය,) සිහි ඇතියෙහි ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය (අනිත්යාදි විසින්) දක්මින් ‘නත්ථි කිඤ්චි’යි පැවැති. එ සමවත ඇසුරු කොට මේ චතුරෝඝය තරණය කර වස්තුකාම ක්ලේශකාමයන් හැරපියා, කථංකථා සඞ්ඛ්යාත විචිකිත්සායෙන් වෙන් වූයෙහි දවරෑහි තෘෂ්ණාක්ෂය සඞ්ඛ්යාත නිවන විභූත කොට දක්නෙහි.
1075. (උපසීව ආයුෂ්මත් මෙසේ ඇසී:) යමෙක් සියලු කාමයන්හි පහවූ රාග ඇත්තේ අන්ය වූ යට සමවත් හැරපියා ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ඇසුරු කෙළේ නම් උත්තම සංඥාවිමෝක්ෂයෙහි ඇලුනේ නම්, හේ ඒ ආකිඤ්චඤ්ඤායතන බඹලොව්හි වියෝගයට නොයනසුලු වැ සිටිනේ ද?
1076. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: උපසීවය,) යමෙක් හැම කාමයන්හි වීතරාග වූයේ අන්ය වූ යට සමවත් හැරපියා ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ඇසුරු කෙළේ ඒ උත්තමසංඥාවිමෝක්ෂයෙහි ඇලුනේ නම් හෙතෙම (එයින්) නො පිරිහෙමින් ඒ ආකිඤ්චඤ්ඤායතන බ්රහ්මලෝකයෙහි (කප්සැටදහසක්) සිටුනේ යි.
1077. (ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) සමතැස් ඇති සර්වඥයන් වහන්ස, ඉදින් හේ එයින් නොපිරිහෙන සුලු වැ නොයෙක් හවුරුදු සියදහස් ගණන් ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි සිටිනේ නම්, හෙතෙම එහි මැ දුකින් මිදුනේ ශීතීභාවයට පැමිණියේ එහි මැ සිටිනේ ද? එ බඳු වූ වහුගේ විඥානය එහි ම පිරිනිවේ ද?
1078. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ: උපසීවය,) වාතවේගයෙන් බැහැර කරණ (නිවන) ලද ගිනිසිලෙක් යම්සේ අස්තයට යේ නම්, (අසෝ දිගට ගියේ යැයි) ව්යවහාරයට නො යේ නම්, එසෙයින් මැ (එහි උපන්) ශෛක්ෂමුනි තෙම නාම කයින් මිදුනේ අස්තයට යෙයි. ක්ෂත්රියාදි ව්යාවහාරයට නො යෙයි.
1079. (ආයුෂ්මත් උපසීව මෙසේ ඇසීය:) මුනීන්ද්රයන් වහන්ස, ඒ අරූපී ආර්ය්ය පුද්ගල අස්තයට ගියේ නොහොත් අවිද්යමාන වූයේ ද? නොහොත් හේ ඒකාන්තයෙන් ශාශ්වත භාවයෙන් අරෝග වූයේ (අවිපරිණාම ස්වභාවයෙන්) සිටිනේ ද? මුනීන්ද්රයන් වහන්ස, එය මට මැනැවින් ප්රකාශ කොට වදාළ මැනැව. යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දන්නාලද ද, එහෙයිනි.
1080. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: උපසීවය,) අනුපාදාපරිනිර්වාණයෙන් පිරිනිවියාහට (රූපාදි) ප්රමාණයෙක් නැත. රාගාදි යම් ප්රමාණයෙකින් ඔහට කියත් නම්, ඒ ප්රමාණය ඔහට නැත (ස්කන්ධාදි) සියලු ධර්මයන් නැසූ කල්හි හැම වාදපථයෝ ද නසනලද වෙතියි.
උපසීවමාණව පෘච්ඡා නිමි.
5. 7.
නන්දමාණව පෘච්ඡා
1081. (ආයුෂ්මත් නන්දමාණවක මෙසේ විචාරයි:) ලොව්හි ක්ෂත්රියාදි ජනයෝ (ආජීවක නිගණ්ඨාදි) මුනිහු ඇතැයි කියත්. එය කෙසේ ද? (සමාපත්ති, අභිඥා) ඥානයෙන් සමුපේත වූවහු මුනි යයි කියත් ද? නොහොත් රූක්ෂජීවිතයෙන් සමුපේත වූවහු මුනි යයි කියත් ද?
1082. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ:) නන්දයෙනි, මෙසස්නෙහි ස්කන්ධාදියෙහි හෝ) දක්ෂයෝ දෘෂ්ටියෙන්, ශ්රැතියෙන් ඥානයෙන් මුනි යයි නො කියත්. යම් කෙනෙක් කෙලෙස් ස්නේහ නසා (රාගාදි) ව්යසන රහිත වැ නිරාශ වැ හැසිරෙත් නම්, ඔහු මුනිහු යයි මම කියමි.
1083. (ආයුෂ්මත් නන්දමාණවක මෙසේ විචාරයි:) භාග්යවතුන් වහන්ස, යම් කිසි මහණ බමුණු කෙනෙක් දෘෂ්ටියෙනුදු ශ්රැතයෙනුදු ශුද්ධිය (මුක්තිය) කියත් නම්, ශීලව්රතයෙනුදු ශුද්ධිය කියත් නම්, අනේකවිධ කොතුහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් නම්, නිදුකානන් වහන්ස කිම, (ඒ දෘෂ්ටිගතිකයෝ) එ දෘෂ්ටියෙහි ගුප්ත වැ වෙසෙන්නාහු ජාතියත් ජරාවත් තරණය කළාහු ද? භාග්යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළමැනැවි.