5. 5.
ධොතකමාණව පෘච්ඡා
1065. (ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) භාග්යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ මට වදාළ මැනව. මුඹ වහන්සේගේ වචනය රුස්නෙමි, මුඹ වහන්සේගේ ධර්මනිර්ඝෝෂය අසා රාගාදිය නිවනු සඳහා අධිශීලාදියෙහි හික්මෙන්නෙමි.
1066. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ: ධෝතකය,) එසේ වී නම් මෙහි මැ නුවණැති වැ ස්මෘතිමත් වැ වැර වඩව. මාගේ වදන් අසා මෙ සස්නෙහි තමාගේ නිවන් පිණිසි හික්මෙන්නේය.
1067. (ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) මම දෙව්මිනිස්ලොව්හි හැසිරෙන, රාගාදිකිඤ්චන රහිත වූ බාහිතපාප හෙයින් බ්රාහ්මණ වූ දේවාතිදේවයන් දැන් දක්මි. සමතැස් ඇතියානෙනි, එබඳු වූ මුඹ වහන්සේ නමදිමි. ශාක්යයන් වහන්ස, විචිකිත්සායෙන් මා මුදනු මැනව.
1068. (භාග්යවතුන් වහන්සේ මෙසේ දෙසූහ: ධෝතකය,) මම ලෝකයෙහි විචිකිත්සා ඇති කිසිවකු මුදන්නට නො හැක්කෙමි. (උත්සාහ නොකරමි.) තෙපි ශ්රේෂ්ඨ ධර්මය ද දැන ගණිමින් මෙසේ මේ කාමාදිචතුරෝඝ තරණය කරව.
1069. (ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) ශ්රේෂ්ඨයන් වහන්ස, සියලු සංස්කාරයන්ගෙන් විවික්ත වූ යම් නිර්වාණධර්මයක් මම දැනගන්නෙම් නම්, ආකාශය සෙයින් මම යම්සේ නානා ප්රකාරභාවයට නො යන්නෙම් නම්, මේ අස්නෙහි මැ හුන්නෙම් නොහොත් නිවුණෙමි, (තෘෂ්ණාදෘෂ්ටි) නිඃශ්රය රහිත වැ හැසිරෙන්නෙම් නම්, එසෙයින් අනුකම්පා කරණසේක් (මට) අනුශාසනා කළ මැනව.
1070. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ධෝතකය,) ස්මෘතිමත්ව හැසිරෙනුයේ දක්නාලද දුඃඛාදිධර්මයෙහි නොහොත් මේ අත්බැව්හි මැ තමාට පසක් වූ යම් දහමක් දැන ලෝකයෙහි විසත්තිකා නම් වූ තෘෂ්ණාව තරණය කෙරේ නම්, ඒ නිර්වාණධර්මය ද (නිර්වාණගාමිනී ප්රතිපද්ධර්මය ද) තොපට ප්රකාශ කරන්නෙමි.
1071. (ආයුෂ්මත් ධෝතක මෙසේ කීය:) මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් වැ හැසිරෙනුයේ යම් දහමක් දැන ලෝකයෙහි විසත්තිකා නම් (තෘෂ්ණාව) තරණය කෙරේ නම් මම මුඹ වහන්සේගේ ඒ ධර්මයද්යොතකවචනය ද රුස්මි. ඒ උත්තම ශාන්තිය ද පිළිගන්මි.
1072. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ධෝතකය,) (අනාගතාදි) උඩ ය, (අතීතාදි) යට ය (වර්තමානකාලනම් වූ) මධ්යය වූ සරස දැ’යි යම් කිසි ධර්මජාතයක් තෝ දනිහි නම් තෙල ධර්මජාතය ලෝකයෙහි සඞ්ග යයි දැන කුදුමහත්භවය සඳහා තෘෂ්ණා නො කරව යි.
ධොතකමාණව පෘච්ඡා නිමි.