5. 4.
මෙත්තගූමාණව පෘච්ඡා
1053. (ආයුෂ්මත් මෙත්තගූ මෙසේ පිළිවිත්:) භාග්යවතුන් වහන්ස, මුඹ වහන්සේ තෙල කරුණ පුළුවුස්මි. වදාළ මැනව. මුබ වහන්සේ ඥානවේදයාගේ පරතෙරට පැමිණි කෙනෙකුන් කොට වැඩූ සිත් ඇති කෙනෙකුන් කොට හඟිමි. ලෝකයෙහි අනේකස්වභාව වූ යම් කිසි දුක් කෙනෙක් වෙත් ද, මෙ දුඃඛයෝ කොයින් උපන්නාහු ද?
1054. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ: මෙත්තගූ මාණවයෙනි, ) ඉදින් තෝ ජාත්යාදි දුකට කාරණය විචාරහි නම්, එය පසක් කොට දතුවකු සෙයින් තොපට පවසම්හ. ලෝකයෙහි අනේකස්වරූප වූ යම් දුඃඛයෝ වෙත් නම්, ඒ හැම දුඃඛයෝ (තෘෂ්ණාදි) උපධි හේතුයෙන් උපදනාහ.
1055. අපණ්ඩිත වූ යමෙක් (තෘෂ්ණාදි) උපධිය කෙරේ ද, මන්දප්රාඥ වූ හෙතෙම පුනපුනා සසර දුකට පැමිණෙයි. එහෙයින් (සංස්කාරයන් අනිත්යාදි විසින්) දන්නේ සංසාර දුඃඛය ජාතිය ප්රභවය කොට ඇතැ’යි දක්නේ (තෘෂ්ණාදි) උපධිය නොකරන්නේ යි.
1056. (ආයුෂ්මත් මෙත්තගූ මෙසේ පිළිවිත්:) අපි යමක් විචාළමෝ නම්, එය මුඹ වහන්සේ අපට වදාළසේක. අනෙක් කරුණකුදු මුඹ වෙතින් විචාරමි. ඒකාන්තයෙන් එය දැන් වදාළමැනව. ධීරයෝ (කාමාදි චතුර්විධ) ඕඝයත් ජාති ජරා ශෝකපරිදේවදුකත් කෙසේ තරණය කෙරෙත් ද? සර්වඥමුනි වූ මුඹ වහන්සේ අයදිමි. එය මට විසඳා වදාළ මැනවි. යම් හෙයෙකින් මුඹ වහන්සේ විසින් තෙල දහම (සත්ත්වයන් විසින් අවබෝධ කරණ සේ පැනවීම් වශයෙන්) දන්නාලද ද, එහෙයිනි,
1057. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය, ) ස්මෘතිමත් වැ හැසිරෙනුයේ දක්නා ලද දුඃඛාදිධර්මයෙහි නොහොත් මේ අත්බැව්හි මැ ආත්මප්රත්යක්ෂ වූ යම් ධර්මයක් දැන ලොවැ විසත්තිකා සඞ්ඛ්යාත තෘෂ්ණාව තරණය කෙරේ නම්, ඒ නිර්වාණධර්මයත් (නිර්වාණගාමිනීප්රතිපද්ධර්මයත්) තොපට ප්රකාශ කරන්නෙමි.
1058. මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් ව හැසිරෙනුයේ යම් ධර්මයක් දැන ලොව්හි විසත්තිකා නම් වූ තෘෂ්ණාව තරණය කරන්නේ නම් මම මුඹ වහන්සේගේ ඒ (ධර්මද්යොතක) භාෂිතය ද ඒ උත්තම ධර්මය ද පතමි.
1059. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය, ) අනාගතකාලාදි උඩ ද අතීතකාලාදි යට ද (වර්තමානකාලාදි ) මැද සරස ද වූ යම් කිසි ධර්මජාතයක් තෙපි දනිවු නම් තෙල ඌර්ධවාදි ධර්මයෙහි තෘෂ්ණා හා දෘෂ්ටිනිවේසනය ද අභිසංස්කාරවිඥානය ද දුරු කරව, දුරු කොට (උභය) භවයෙහි නො සිටිනේ යි.
1060. මෙසේ වසන සුලු ස්මෘතිමත් වූ අප්රමත්ත වූ මහණ තෘෂ්ණාදෘෂ්ටිමමායිතයන් හැරපියා හැසිරෙන්නේ විද්වද් වූයේ මෙ සස්නෙහි මැ නොහොත් මෙ අත්බව්හි මැ ජාතිය ද ජරාව ද, ශෝකපරිදේවදුක ද දුරැ ලන්නේ යි.