5. 1.
අජිතමාණව පෘච්ඡා
1036. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්:) ලෝවැසි තෙම කිමෙකින් නිවෘත (වැසුනේ ) ද? කවර හෙයින් නො පැණේ ද? ඔහට කිමෙක් අභිලේපන (ලහටු) වේ’යයි වදාරණසේක් ද? කිමෙක් ඔහට මහබිය නමි වේදැ’යි.
1037. (අජිතයෙනි, යි බුදුහු වදාළහ), ලෝවැසි තෙම අවිද්‍යායෙන් නිවෘත යැ. මාත්සර්‍ය්‍ය හෙයින් ප්‍රමාද හෙයින් ප්‍රකාශිත නො වෙයි, තෘෂ්ණාව අභිලේපන යයි කියමි, ඔහට (ජාත්‍යාදි) දුක මහබිය වෙයි.
1038. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්:) හැම තන්හි (රූපාදි හැම ආයතනයන්හි තෘෂ්ණාදි ) ස්‍රෝතස්හු ගලායෙති. ස්‍රෝතසුන්ගේ ආවරණය කවරැ? ස්‍රෝතසුන්ගේ සංවරය වදාළමැනැවි. කවර දහමෙකින් ස්‍රෝතස්හු පියනු ලැබෙත් ද?
1039. අජිතයෙනි, (යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක:), ලොව යම් ස්‍රෝතස් කෙනෙක් වෙත් නම්, ස්මෘතිය ඔවුන්ට ආවරණ යැ. (එ ස්මෘතිය) ස්‍රෝතසුන්ගේ සංවර යයි කියමි. (මාර්‍ග) ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙත්.
1040. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්:) නිදුකානන් වහන්ස, ප්‍රඥාව ද ස්මෘතිය ද (තදවශේෂ) නාමරූපය ද යන තෙල සියල්ල කොහි නිරුද්ධ වේ ද? මා විසින් පුළුවුස්නාලද මුඹ වහන්සේ තෙල කරුණ මට වදාළමැනව.
1041. අජිතයෙනි, තෙපි යම් පැනයක් විචාළවු ද, එය තොපට කියමි. යම් තැනෙක්හි නාමයත් රූපයත් නිරවෂේශයෙන් නිරුද්ධ වේ ද, (පශ්චිම) විඥානයාගේ නිරෝධය හාමැ (පෙර පසු නැතිව) තෙල විඥාන නිරෝධයෙහි මැ තෙල නාමරූපය උපරුද්ධ වෙයි. (විඥානනිරෝධය ඉක්මැ නො යෙයි).
1042. නිදුකානන් වහන්ස, මේ ලෝකයෙහි (අනිත්‍යාදි විසින්) විමසන ලද දහම් ඇති යම් (අශෛක්‍ෂ) කෙනෙක් වෙත් නම් යම් බොහෝ වූ ශෛක්‍ෂ කෙනෙකුත් වෙත් නම්, මා විසින් පුළුවුස්නා ලද සේක් (ශෛක්‍ෂාශෛක්‍ෂධර්‍මයෙහි) පණ්ඩිත වූ මුඹ වහන්සේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය වදාළ මැනැව.
1043. කාමයෙහි ගිජු නොවන්නේ ය. සිතින් නොකැළැඹුනෙක් වන්නේ ය. මහණ සකලධර්‍මයන්හි කුශල වූයේ ස්මෘතිමත් වැ හැසිරෙන්නේ යැ යි.
අජිතමාණව පෘච්ඡා නිමි.
5. 2.
තිස්සමෙත්තෙය්‍ය මාණව පෘච්ඡා
1044. (ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්‍ය මෙසේ පිළිවිත්:) කවරෙක් මෙලොව සන්තුෂ්ට වේ ද? කවරක්හට (තෘෂ්ණා දෘෂ්ටි) ඉඤ්ජනයෝ (කම්පනයෝ) නැද්ද? කවරෙක් අන්තද්වය විශිෂ්ට ඥානයෙන් දැනැ මධ්‍යයෙහි ප්‍රඥායෙන් නො ඇලේ ද? කවරක්හු මහාපුරුෂයයි කියන සේක් ද? මෙහි කවරෙක් තෘෂ්ණා සිබ්බනිය ඉක්මැගියේ දැයි?
1045. (මෙත්තෙය්‍යයෙනි, යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක:) කාමයෙහි (ආදීනව දැක) මගබඹසර ඇති, පහ වූ තෘෂ්ණා ඇති හැම කල්හි ස්මෘතිමත් වූ (අනිත්‍යාදි විසින් දහම්) විමසා රාගාදිය (නිවීමෙන්) නිවුනු යම් මහණෙක් වේ නම්, ඔහට ඉඤ්ජිතයෝ නැත්තාහ.
1046. හේ අන්තද්වය විශිෂ්ටඥානයෙන් දැන මධ්‍යයෙහි ප්‍රඥායෙන් නො ඇලෙයි. ඔහු මහාපුරුෂයයි කියමි. හේ මේ ලොව්හි තෘෂ්ණා සිබ්බනිය ඉක්මැ ගියේ යි.
තිස්සමෙත්තෙය්‍ය මාණව පෘච්ඡා නිමි.
5. 3.
පුණ්ණකමාණව පෘච්ඡා
1047. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) තෘෂ්ණා රහිත වූ, (එහෙයින්) අටලෝදහම්හි කම්පා රහිත වූ අකුශල මූලාදිය දක්නා සුලු වූ භාග්‍යවතුන් වහන්සේ කරා ප්‍රශ්නයෙන් ප්‍රයෝජන ඇත්තමෝ ආම්හ. මෙලොවැ ඍෂීහු ය, මනුෂය්‍යයෝ ය, ක්‍ෂත්‍රියෝ ය, බ්‍රාහ්මණයෝ ය යන බොහෝ යාගකරුවෝ කුමක් ඇසිරි කළාහු දෙවියනට දේයධර්‍මය පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද? (යාග කෙරෙත් ද?) භාග්‍යවතුන් වහන්ස, ඒ කරුණ මුඹවහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළ මැනවි.
1048. (බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය, ) මේ ලෝකයෙහි ඍෂීහු ය, මනුෂය්‍යයෝ ය, ක්‍ෂත්‍රියයෝ ය, බ්‍රාහ්මණයෝ ය යන මෙබඳු යම් බොහෝ යාගකරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, පුණ්ණකය, ඔහු ජරාව (සසර දුක්) නිසා මේ මනුෂ්‍යාදි භාවය පතන්නාහු (දෙවියනට) යාග කෙරෙත්.