5. 2.
තිස්සමෙත්තෙය්ය මාණව පෘච්ඡා
1044. (ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්ය මෙසේ පිළිවිත්:) කවරෙක් මෙලොව සන්තුෂ්ට වේ ද? කවරක්හට (තෘෂ්ණා දෘෂ්ටි) ඉඤ්ජනයෝ (කම්පනයෝ) නැද්ද? කවරෙක් අන්තද්වය විශිෂ්ට ඥානයෙන් දැනැ මධ්යයෙහි ප්රඥායෙන් නො ඇලේ ද? කවරක්හු මහාපුරුෂයයි කියන සේක් ද? මෙහි කවරෙක් තෘෂ්ණා සිබ්බනිය ඉක්මැගියේ දැයි?
1045. (මෙත්තෙය්යයෙනි, යි භාග්යවතුන් වහන්සේ වදාළ සේක:) කාමයෙහි (ආදීනව දැක) මගබඹසර ඇති, පහ වූ තෘෂ්ණා ඇති හැම කල්හි ස්මෘතිමත් වූ (අනිත්යාදි විසින් දහම්) විමසා රාගාදිය (නිවීමෙන්) නිවුනු යම් මහණෙක් වේ නම්, ඔහට ඉඤ්ජිතයෝ නැත්තාහ.
1046. හේ අන්තද්වය විශිෂ්ටඥානයෙන් දැන මධ්යයෙහි ප්රඥායෙන් නො ඇලෙයි. ඔහු මහාපුරුෂයයි කියමි. හේ මේ ලොව්හි තෘෂ්ණා සිබ්බනිය ඉක්මැ ගියේ යි.
තිස්සමෙත්තෙය්ය මාණව පෘච්ඡා නිමි.
5. 3.
පුණ්ණකමාණව පෘච්ඡා
1047. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) තෘෂ්ණා රහිත වූ, (එහෙයින්) අටලෝදහම්හි කම්පා රහිත වූ අකුශල මූලාදිය දක්නා සුලු වූ භාග්යවතුන් වහන්සේ කරා ප්රශ්නයෙන් ප්රයෝජන ඇත්තමෝ ආම්හ. මෙලොවැ ඍෂීහු ය, මනුෂය්යයෝ ය, ක්ෂත්රියෝ ය, බ්රාහ්මණයෝ ය යන බොහෝ යාගකරුවෝ කුමක් ඇසිරි කළාහු දෙවියනට දේයධර්මය පර්ය්යෙෂණ කෙරෙත් ද? (යාග කෙරෙත් ද?) භාග්යවතුන් වහන්ස, ඒ කරුණ මුඹවහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළ මැනවි.
1048. (බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය, ) මේ ලෝකයෙහි ඍෂීහු ය, මනුෂය්යයෝ ය, ක්ෂත්රියයෝ ය, බ්රාහ්මණයෝ ය යන මෙබඳු යම් බොහෝ යාගකරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, පුණ්ණකය, ඔහු ජරාව (සසර දුක්) නිසා මේ මනුෂ්යාදි භාවය පතන්නාහු (දෙවියනට) යාග කෙරෙත්.
1049. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) මෙ ලෝකයෙහි ඍෂීහු ය, මනුෂය්යයෝ ය, ක්ෂත්රියයෝ ය, බ්රාහ්මණයෝ ය, යන මෙබඳු බොහෝ යාගකරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, භාග්යවතුන් වහන්ස, කිම, ඔහු යාගයෙහි අප්රමත්ත වූවාහු ජාතියත් ජරාවත් තරණය කළාහු ද? නිදුකාණන් වහන්ස එය මුඹවහන්සේ විචාරමි. භාග්යවතුන් වහන්ස, තෙල කරුණ මට වදාළ මැනවි,
1050. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ:) පුණ්ණකය, ඔහු රූපප්රතිලාභාදිය ප්රාර්ත්ථනා කෙරෙති. (යාගාදිය) පසසත්. (රූපාදි) ප්රතිලාභය පිණිස වාග්භේද කෙරෙත්. පූජා කරත්. රූපාදි ප්රතිලාභය සඳහා පුනපුනා කාමයන් මැ (අපට වුව මැනවැයි) කියත්. යාගයෙහි යෙදුනු, භවරාගයෙන් රැඳුනු ඔහු ජාතිජරාදි (සසර දුක) තරණය නො කළහ යි කියමි.
1051. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) නිදුකානන් වහන්ස, යාජයෝග වූ ඔහු ඉදින් යාගයන් කරණ කොට ජාතියක් ජරාවත් තරණය නො කළාහු නම්, නිදුකානන් වහන්ස, එකල්හි දෙව්මිනිස් ලොව කවරෙක් ජාතියත් ජරාවත් තරණය කෙළේ ද? එ කරුණ පුළුවුස්මි භාග්යවතුන් වහන්ස, තෙල මට වදාළ මැනැව.
1052. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ: පුණ්ණකය,) සත්ත්ව ලෝකයෙහි (පරාත්මභාව ස්වාත්මභාවාදි) පරාවරයන් නුවණින් විමසා (දත්) යම් ක්ෂීණාස්රවයක්හට ලොවැ කිසි තැනෙක්හි ඉඤ්ජිතයෙක් නැද්ද, (සන්හුන් කෙලෙස් ඇති හෙයින්) ශාන්ත වූ කාය දුශ්චරිතාදි ධූම විරහිත වූ (රාගාදි) උපද්රව රහිත වූ ආශා රහිත වූ ඒ ක්ෂීණාස්රව තෙම ජාතිජරා තරණය කෙළේයයි කියමි.
පුණ්ණකමාණව පෘච්ඡා නිමි.
5. 4.
මෙත්තගූමාණව පෘච්ඡා
1053. (ආයුෂ්මත් මෙත්තගූ මෙසේ පිළිවිත්:) භාග්යවතුන් වහන්ස, මුඹ වහන්සේ තෙල කරුණ පුළුවුස්මි. වදාළ මැනව. මුබ වහන්සේ ඥානවේදයාගේ පරතෙරට පැමිණි කෙනෙකුන් කොට වැඩූ සිත් ඇති කෙනෙකුන් කොට හඟිමි. ලෝකයෙහි අනේකස්වභාව වූ යම් කිසි දුක් කෙනෙක් වෙත් ද, මෙ දුඃඛයෝ කොයින් උපන්නාහු ද?