4. 5.
පරමට්ඨක සූත්රය
800. ලොව්හි යම් සත්ත්වයෙක් දෙසැටමිදිටු අතුරෙන් ‘මෙ උතුමැ’යි එක්තරා දෘෂ්ටියක් ගෙණ ඒ තමන් ගත් දෘෂ්ටියෙහි ඇතුළත් වැ වසනුයේ යම් හෙයෙකින් තමාගේ ශාස්තෘ ආදිය ‘උතුමැ’යි කියා ද, එයින් අන්ය වූ හැම ‘හීනය’යි කියාද, එහෙයින් හෙ දෘෂ්ටිවාදයන් නො ඉක්මැවූයේ වේ.
801. මෙසේ දෘෂ්ටිකලහයන් නො ඉක්මැ වූයේ රූපාලම්බනසඞ්ඛ්යාත දෘෂ්ටායතනයෙහි දු, ශබ්දාලම්බනසඞ්ඛ්යාත ශ්රැතායතනයෙහි දු, ශීලව්රතයන්හි දු, ගන්ධ - රස - ස්ප්රෂ්ටව්යාලම්බනසඞ්ඛ්යාත මුතායතනයෙහි දු, උපන් දෘෂ්ටිසඞ්ඛ්යාත ආත්මෙයහි යම් අනුසසක් දක්නේ නම්, හෙ ස්වකීයදෘෂ්ටියෙහි එ අනුසස මැ ශ්රේෂ්ඨයයි දැඩිවැ ගෙණ පරශාස්තෘ ආදි අන් හැම නිහීන හෙයින් දක්නේ යි.
802. මෙසේ දක්නේ තමාගේ ශාස්තෘ ආදියක් ඇසිරි කරණ ලදුයේ නම් එයින් අන්යවූ පරශාස්තෘආදිය හීන කොට දක්නේය. ස්කන්ධාදිය දැනීමෙහි නිපුණයෝ ඔහුගේ ඒ දර්ශනය බන්ධනයෙකැයි කියති. එහෙයින් මැ මහණ රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්ධරසස්ප්රෂ්ටව්යාලම්බන වේවයි ශීලව්රතසඞ්ඛ්යාතධර්මාලම්බන වේවයි තෘෂ්ණාදෘෂ්ටි විසින් ඇසිරි නො කරන්නේ යි.
803. ඒ මහණ හුදෙක් දෘෂ්ට ශ්රැතාදිය මතු නො ගන්නේ වෙයි. යළි ලෝකයෙහි නූපන්දෘෂ්ටිය ද සමාපත්යාදිඥානයෙන් හෝ ශීලව්රතයෙන් හෝ නූපදවන්නේ ය. තවද ජාත්යාදිවස්තුකරණකොට ‘මම සදෘශයෙමි’යි තමා (මානවශයෙන්) නො හඟනේය, ‘හීනයෙමි’යි ද නො හඟනේ ය, ‘විශේෂ යෙමි’යි ද නො හඟනේ යි.
804. හේ පළමු ගත් ආත්මදෘෂ්ටිය හැරපියා චතුර්උපාදානයෙන් කිසිවක් නො ගන්නේ ඥානයෙහි දු තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්රය නො කෙරෙයි. හෙතෙම ඒකාන්තයෙන් දෘෂ්ටි විසින් භින්න සත්ත්වයන් කෙරෙහි ඡන්දාදි විසින් අගතියට නො යන සැහැවි ඇතියේ වෙයි. හෙ කිසි දෘෂ්ටියකට නො එන්නේ වේ.
805. යම් රහත්මහණක්හට ඵස්ස-ඵස්සසමුදයාදි භේද වූ උභයාන්තයෙහිත් පුනපුනාභවය පිණිසත් ස්වාත්මභාවයෙහි හෝ පරාත්මභාවයෙහි හෝ තෘෂ්ණා ප්රණිධි නැත් ද, එ රහත්හට කිසි තෘෂ්ණාදෘෂ්ටිනිවේසන කෙනෙක් නො වෙති. දෙසැටමිසදිටුදම්හි නිශ්චය කොට දැඩි වැ ගන්නාලද්දෙක් ද නැත්තේ යි.
806. එ රහත් මහණහට රූපයතනසඞ්ඛ්යාත දෘෂ්ටශුද්ධියෙහි හෝ ශ්රැතශුද්ධියෙහි හෝ මුතශුද්ධියෙහි හෝ තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්රකල්පිත වූ අණුමාත්ර වූත් සංඥාසමුත්ථාපිකදෘෂ්ටියෙක් නැත. මෙ සත්ත්වලෝකයෙහි දෙසැටමිසදිටු නො ගන්නා එ බාහිතපාපී බ්රාහ්මණයා රාගාදි වූ කවරහේතුයෙකින් විකල්පනය කරන්නේ ද?
807. එ රහත්මහණහු තෘෂ්ණාදෘෂ්ටිකල්පයන් නො කෙරෙති. ඔවුන් පෙරටු කොට නො හැසිරෙති. දෙසැටමිසදිටු දහම්හු ද ඔවුන් විසින් නො පිළිගන්නාලදහ. ක්ෂීණස්රවබ්රාහ්මණ ශීලව්රතයෙන් යළි කෙලෙසුන්කරා පැමිණවිය නො හැකි වෙයි. තාදීවූ රහත්තෙම නිර්වාණපාරයට ගියේ මඟනැණින් නැසූ කෙලෙසුනට යළි නො එන්නේ යි.
පරමට්ඨක සූත්රය නිමි.
4. 6.
ජරා සූත්රය
808. මෙ මනුෂ්ය ජීවිතය ඒකාන්තයෙන් අල්ප වෙයි. හවුරුදු සියයෙකින් මෙපිට (කලලාදි අවස්ථායෙහි) දූ මියෙයි. ඉදින් යමෙක් සියක් වස් ඉක්මැ ජීවත් වේ නම්, එකල හේ ජරායෙනුදු මියයන්නේ යි.