4. 6.
ජරා සූත්‍රය
808. මෙ මනුෂ්‍ය ජීවිතය ඒකාන්තයෙන් අල්ප වෙයි. හවුරුදු සියයෙකින් මෙපිට (කලලාදි අවස්ථායෙහි) දූ මියෙයි. ඉදින් යමෙක් සියක් වස් ඉක්මැ ජීවත් වේ නම්, එකල හේ ජරායෙනුදු මියයන්නේ යි.
809. සත්ත්‍වයෝ තෘෂ්ණාදෘෂ්ටි විසින් මමත්‍වයෙන් ගත් වස්තුයෙහි ශෝක කෙරෙති. එතෙකුදු වුව නිත්‍ය වූ පරිග්‍රහයෝ නො මැ වෙති. මෙ විනාභාවය විද්‍යමාන මැ වේ යයි මෙසේ නුවණින් දැකැ විඥපුරුෂ ගිහිගෙහි නො වසන්නේ යි.
810. පුරුෂ යම් රූපාදියක් ‘මේ මාගේ’යයි මඤ්ඤනා වශයෙන් හඟනේ නම්, එය මරණනිදු දුරුකරණු ලැබෙයි. බුද්ධාදීන් කෙරෙහි මාමක වූ පණ්ඩිත තෙමේ රූපාදියෙහි තෙල ආදීනවය දැකැ මමත්‍වයට නො නැමෙන්නේ යි.
811. පුරුෂ සිහිනෙන් දක්නා ලද චන්‍ද්‍රාදි කිසිවක් පිබිදියේ යම්සේ නො දක්නේ ද, එසෙයින් පරලොව ගිය, කලුරිය කළාවූ ප්‍රිය සත්‍වයා නො දක්නේ යි.
812. ක්‍ෂත්‍රියාදි යම් කෙනෙකුන් ගේ මේ නාමප්‍රඥප්තියයැ යි කියනු ලැබේ නම්, එ සත්ත්‍වයෝ වනාහි චක්ඛු විඤ්ඤාණාභිසම්භූත වූ චතුසමුට්ඨානිකරූපයෝත් සෝතවිඤ්ඤාණාභිසම්භූත වූ ද්විසමුට්ඨානික ශබ්දයොත් වෙති. මියැ පරලොව ගිය සත්ත්‍වයාගේ නාමමාත්‍රය මැ කියන්නට ඉතිරි වේ.
813. මමායන කළ වස්තුයෙහි ගිජු වූවාහු ශෝකපරිදේවමාත්සර්‍ය්‍යය යම් හෙයකින් නො හරිත් ද, එහෙයින් මැ මුනිහු තෘෂ්ණාදෘෂ්ටිපරිග්‍රහය හැරපියා ක්‍ෂේමසඞ්ඛ්‍යාත නිර්‍වාණය දක්මින් වාස කළහ.
814. ඒ ඒ අරමුණෙන් වැළැහූ සිත්හසර ඇති, විවේක සෙනසුන් සෙව්නා වූ කලණ පුහුදුන් වූ හෝ ශෛක්‍ෂ වූ හෝ මහණහට ද, නිරායාදි භවනයෙහි (ප්‍රතිසන්‍ධි විසින්) තමා නො දක්වන එ රහත්මහණහට ද නිර්‍වාණසාමග්‍රියෙහි ලා (නිරයාදි භවනෙහි තමා නො දැක්වීම) අනුරූප යයි කියත්.
815. ද්වාදශායතන නම් වූ හැම තන්හි තෘෂ්ණා - දෘෂ්ටි නිඃශ්‍රය රහිත වූ මුනිතෙම (සත්ත්‍ව සංස්කාර කෙරෙහි) ප්‍රිය නො කෙරෙයි, අප්‍රිය ද නො කෙරෙයි. එ රහත්මුනිහු කෙරෙහි පරිදේව හා මාත්සර්‍ය්‍යය පියුම්පත්හි දිය සෙයින් නො ඇලේ.