4. 4.
සුද්ධට්ඨක සූත්‍රය
792. දෘෂ්ටිගතික අඥපුද්ගල කෙලෙස් කිලුටින් අශුද්ධ වූ කෙලෙස් රොවින් සරෝග වූ පුඟුලකු දැක “පරම ශුද්ධියට පත් අරෝග පුද්ගලයකු දක්මි“යි ද දෘෂ්ටි සංඛ්‍යාත දර්‍ශනයෙන් මිනිසාගේ මන ශුද්ධිය වේය“යි ද මෙසේ වෙසෙසින් දන්නේ එ දර්‍ශනය පරම යයි දැන එ දර්‍ශනයෙහි ශුද්ධිය දක්නාසුලු වූයේ, ඒ දර්‍ශනය “මාර්‍ගඥානය“යි හදහයි. (එතෙකුදු වත් එ මාර්‍ග ඥානය නො වේ.)
793. රූපදර්‍ශන සංඛ්‍යාත එ දර්‍ශනයෙන් ඉදින් සත්ත්‍වයාගේ ශුද්ධිය වේ නම් නොහොත් චක්‍ෂුර්විඥාන නම් වූ එ ඥානයෙන් හෙතෙම ජාත්‍යාදි දුඃඛය දුරු කෙරේ නම්, එසේ වත්ම ආර්‍ය්‍යමාර්‍ගයෙන් අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයකින් කාමාදි උපධි සහිත වූයේ මැ හෙ ශුද්ධ වේ යැ යි කියයුතු බවට පැමිණෙයි, දෘෂ්ටිය මැ එසේ කියන ඔහු මෙ මිසදිටුවෙකැ’ යි පවසන හෙයිනි.
794. ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ ආර්‍ය්‍යමාර්‍ගඥානයෙන් අන්‍යවූ අභිමංගල සම්මිත රූප සංඛ්‍යාත රූපායතනයෙහි දු එබඳු මැ වූ ශබ්දායතයනයෙහි දු අව්‍යතික්‍රම සංඛ්‍යාත ශීලයෙහි හා (හස්ති ව්‍රතාදී) ව්‍රතයෙහි දු මුතයයි කියන ලද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යායතනයෙහි දු උපන් මිථ්‍යාඥානයෙන් ශුද්ධිය වේ යයි නො කියයි. යම්හෙයකින් හේ ත්‍රෛධාතුකපුණ්‍යයෙහිත්, සියලු පාපයෙහිත් නො ඇලුනේ වේ ද, එ හෙයින් ම ආත්මදෘෂ්ටිය ප්‍රහීණ කෙළේ මේ ත්‍රෛභූමක ලෝකයෙහි පුණ්‍යාභිසංස්කාරාදිය නො කරන්නේ වේ.
795. ඔහු පූර්‍ව ශාස්තෘ ආදීන් හැර පියා අපර ශාස්තෘ ආදීන් ඇසිරි කරන්නාහු එජා සංඛ්‍යාත තෘෂ්ණාව අනුව ගියාහු රාගාදි සඞ්ගය තරණය නො කෙරෙති. යළි ඔහු පූර්‍වශාඛාව හැරපියා අපරශාඛාව ගන්නා වඳුරකු සෙයින් එ එ ධර්‍මයන් හැරපියන්නාහු ද ගන්නාහු ද වෙත්.
796. කාමාදි සංඥායෙහි ලැගුනු සත්ත්‍ව (හස්තිව්‍රතාදී) ව්‍රතයන් තෙමේ මැ සමාදන් වැ එකෙකින් එකකට යෙයි, පරමාර්‍ත්‍ථයෙන් විද්වත් වූ මහාප්‍රඥා ඇති රහත් මහණ සිවුමග නැණින් සිවුසස්දම් පිළිවිද උච්චාවච බවට නො පැමිණේ.
797. ඒ භූරිප්‍රාඥ වූ ක්‍ෂීණාස්‍රව මහණ, යම්කිසි රූපාලම්බනයක් වේවයි, ශබ්දාලම්බනයක් වේවයි, ගන්‍ධ - රස - ඵොට්ඨබ්බාලම්භනයක් වේවයි, එ සියලු ධර්‍මයන්හි අකුසලාභිසංස්කාර නම් වූ මාර සේනාව විධමා සිටි බැවින් විසේනි වූයේ වෙයි. මෙසේ විශුද්ධි දර්‍ශන ඇති තෘෂ්ණාච්ඡදනාදි විගමන විවෘතව හැසිරෙන එ රහත්හු තෘෂ්ණාදි කවර කල්පනයෙකින් විකල්පනය කෙරේ ද?