4. 12.
චූලවියූහ සූත්‍රය
882. තම තමාගේ දෘෂ්ටියෙහි වසන්නාහු (එ දෘෂ්ටි) දැඩිව ගෙණ (ඇපි ම එහි) දක්‍ෂයම්හ’යි වෙන වෙන මැ කියති. “(යමෙක්) මෙසේ දනී නම් හේ දැනගත්තේ ය. යමෙක් මෙය ගරහනුයේ නම්, හේ හීනයෙකැ”යි ද කියත්.
883. මෙසේත් (ස්වලබ්ධිය) දැඩිව ගෙණ විවාද කෙරෙති. මෙරමා බාල යයි ද අදක්‍ෂ යයි ද කියති. මෙ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය වේ ද? මෙ හැම මහණබමුණෝ පණ්ඩිතවාද ඇත්තාහු ද?
884. ඉදින් අන්‍යදෘෂ්ටිකයාගේ ධර්‍මය නො අනුදන්නේ බැලයෙක් මෘග (සදෘශ) යෙක් ලාමකප්‍රඥාඇතියෙක් වේ නම්, (එකල්හි) හැම දෘෂ්ටිගතික වූ මෙ මහණබමුණෝ බාල වෙති. අතිශයින් නිහීනප්‍රඥා ඇතියාහු වෙති. (යම්හෙයකින්) මේ හැම මහණබමුණෝ ස්වකීයදෘෂ්ටියෙහි වෙසෙත් ද එහෙයිනි.
885. ඉදින් ස්වකීයදෘෂ්ටියෙන් පිරිසිදු නො වූවාහු සංශුද්ධප්‍රඥා ඇත්තාහු දක්‍ෂ වූවාහු බුද්ධිමත් වූවාහු වෙත් නම්, එ මහණ බමුණන් අතුරෙහි කිසිවෙක් පිරිහුණු නුවණැතියේ නො වෙයි. යම් හෙයකින් දෘෂ්ටිය ඔවුන් විසින් එසෙයින් සමාදන්වනලද ද එහෙයිනි.
886. තෙල දෙසැට මිසදිටු කැල මම සත්‍යයයි ද නො කියම්, යම් හෙයෙකින් කලහකාරී දෙදෙනෙක් ඔවුනොවුන් බාල යයි කියත් ද, ස්වකීය දෘෂ්ටිය සත්‍යය යයි වාදකළාහු ද, එහෙයින් ම වාදකාරක වූ අන්‍යයා බාලයෙකැයි හඟිත්.
887. ඇතැම් මහණබමුණෝ යම් දෘෂ්ටිසත්‍යයක් සැබැවැයි කියත් නම්, එයින් අන්‍ය වූ මහණ බමුණෝ ඒ දෘෂ්ටිසත්‍යය හිස් මුසාවෙකැ යි කියත්, මෙසේ ද ස්වලබ්ධිය දැඩිව ගෙණ විරුද්ධ වාද කෙරෙත්. කවරහෙයින් ශ්‍රමණයෝ එක්සත්‍යයක් නො කියත් ද?
888. සත්‍ය (නිරෝධ හෝ මාර්‍ග හෝ) එකෙක් මැ වෙයි. දෙවැනි සත්‍යයෙක් නැත. යම් සත්‍යයක් දන්නා පුද්ගල තෙමේ විවාද නො කෙරේ නම් එයයි. ඒ මිසදිටුගත්තාහු තුමූ මැ නානාසත්‍යයන් කියත්. එකරුණෙන් මහණබමුණෝ එක් සත්‍යයක් නො කියත්.
889. විරුද්ධවාද ඇති (ස්වලබ්ධියෙහි) ඇපි මැ දක්‍ෂයම්හයි කියන ඔහු කවරහෙයින් නානාසත්‍යවාදයන් කියත් ද? ඔවුන් විසින් නානාවිධ බොහෝ සත්‍යයෝ අසනලද්දාහු ද? නොහොත් ඔහු තර්‍කමාත්‍රය අනුව යෙත් ද?
890. ලෝකයෙහි සංඥාමාත්‍රයෙන් නිත්‍ය යයි ගන්නා ලද ග්‍රහණයන් තබා නානාවිධ වූ බොහෝ සත්‍යයෝ නො මැත. දෘෂ්ටීන් කෙරෙහි මිථ්‍යාසංකල්පමාත්‍රය ද උපදවා (මාගේ වචනය) සැබව, (තාගේ වචනය) බොරුය යන යුග්මධර්‍මය කියත්.
891. (රූපාලම්බන සඞ්ඛ්‍යාත) දෘෂ්ටශුද්ධිය ද (ශබ්දාලම්බනසඞ්ඛ්‍යාත) ශ්‍රැතශුද්ධිය ද ශීලව්‍රතශුද්ධිය ද (ගන්‍ධරසස්ප්‍ර‍්ෂ්ටව්‍යාලම්බන සඞ්ඛ්‍යාත) මුතශුද්ධිය ද යන මොවුන් නිසා අසම්මානය දක්නේ නොහොත් දොම්නස් උපදවනුයේ දෘෂ්ටි නිශ්චයෙහි සිට පහටුවනුයේ මෙරමා හීන ය යි ද අදක්‍ෂ යයි ද කියයි.
892. යම්කරුණෙකින් මෙරමා බාලයෙකැයි හඟී නම්, යළි එකරුණෙන් මැ තමා පණ්ඩිත වෙමි යි කියයි, තෙම් මැ තමහට (මම්) පණ්ඩිතයෙමි යි කියන හෙතෙම එය මැ කියනුයේ අනෙකක්හු අවමන් කෙරෙයි.
893. හෙතෙම අතිසාර (දෙසැට) දෘෂ්ටියෙන් සම්පූර්‍ණ වූයේ දෘෂ්ටි මානයෙන් මත්වූයේ පරිපූර්‍ණයෙමි යන මාන ඇතියේ තමා මැ තෙමේ සිතින් අභිෂේකකරණ ලදුයේ වෙයි. යම් හෙයෙකින් ඔහු විසින් ඒ දෘෂ්ටිය එපරිද්දෙන් ගන්නාලද ද එහෙයිනි.
894. ඉදින් යමෙක් අන්‍යයාගේ නින්‍දා වචනයෙන් නිහීනයෙක් වේ නම් තෙමේත් ඔහු සමග නිහීන ප්‍රඥා ඇත්තේ වෙයි. යළි තෙමේ මැ වේදාන්තයට ගියා වූ ධීරයෙක් වේ නම්, ශ්‍රමණයන් කෙරෙහි බාල වූ කිසිවෙක් නැත්තේ ය.
895. යම් කෙනෙක් මෙයින් අන්‍ය වූ දෘෂ්ටිධර්‍මයක් කියත් නම්, අපරිපූර්‍ණ වූ ඔහු ශුද්ධිය වරදවාගත්තාහු ය. මෙසේත් තීර්‍ත්‍ථකයෝ බොහෝ දෘෂ්ටිවශයෙන් කියති. යම්හෙයකින් ස්වකීය දෘෂ්ටි රාගයෙන් ඇලුනාහු ද එහෙයිනි.