4. 13.
මහාවියූහ සූත්‍රය
899. ස්වකීය දෘෂ්ටිය දැඩි වැ ගෙණ වසන කිසි මහණබමුණු කෙනෙක් මේ (අපගේ ලබ්ධිය) මැ සත්‍යය, අන්‍යලබ්ධිය තුච්ඡ යයි ද කියත් නම්, ඔහු සිල්ලෝ මැ (තමන් වෙත) පුන පුනා නින්‍දා එළවත් ද? නොහොත් ඒ දෘෂ්ටි නිමිති කොට ගෙණ ප්‍රශංසාත් ලබත් ද?
900. තෙල ප්‍රශංසා සඞ්ඛ්‍යාත වාදඵලය අල්ප මැයි රාගාදීන්ගේ ව්‍යපශමය පිණිස අසමර්‍ත්‍ථ වේ. විවාදයාගේ (ජය-පරාජයාදී විසින් ඵල දෙකක් කියමි. විවාදයෙහි තෙල ආදීනවය ද දැක අවිවාදභූමි සඞ්ඛ්‍යාත නිවන ක්‍ෂේම යයි දක්මින් විවාද නො තකන්නේ යි.
901. පුහුදුනන් කෙරෙන් පහළ වූ යම් කිසි දෘෂ්ටිකෙනෙක් වෙත් නම් විද්වද් තෙමේ තෙල හැම දෘෂ්ටීන්ට නො පැමිණෙයි. තෘෂ්ණා දෘෂ්ටි සඞ්ඛ්‍යාත උපයරහිත වූ හේ දෘෂ්ට ශ්‍රැත මුතශුද්ධියෙහි රුචි නො කරන්නේ රූපාදි උපයකට කිම පැමිණෙන්නේ ද?
902. ශීලය මැ උත්තම යැයි ගත් ඇතැම් මහණබමුණු කෙනෙක් සංයම මාත්‍රයෙන් ශුද්ධිය කියත්. හස්ති-අශ්වාදී ව්‍රත සමාදන් වැ එළැඹ සිටියාහු ‘මේ දෘෂ්ටියෙහි මැ හික්මෙනුවම්හ. එකල්හි මෙ සත්‍වයාගේ ශුද්ධිය වේ යයි භවයට පැමිණියාහු මැ කියති. (එහෙත් ඔහු) කුසලවාද ඇත්තාහු වෙත්.
903. ඉදින් හේ ශීලව්‍රතයෙන් හිලිහුනේ වේ නම් හේ ශීලව්‍රතකර්‍මය වරදවා ගෙණ සැලෙයි, තවද හෙතෙම ගෙන් නික්මැ ගොස්, නොරට වසන පුරුෂයෙක් සාර්‍ත්‍ථයෙන් ගිලිහුනේ (එ ගෙය හෝ සාර්‍ත්‍ථය) පතන්නාක් මෙන් ඒ ශීලව්‍රතශුද්ධිය ජල්පනය කරන්නේ ද පතන්නේ ද වේ.
904. අරීසවු හැම ශීලව්‍රතය ද සාවද්‍ය-අනවද්‍ය (අකුශල හා ලෞකික කුශල) කර්‍ම ද හැරපියා තෙල (පඤ්චකාමගුණාදි) ශුද්ධිය ද (අකුශලාදිභේද වූ) අශුද්ධිය ද මෙසේ නොපතනුයේ දෘෂ්ටිශාන්තිය දැඩිවැ නො ගෙණ (ශුද්ධි-අශුද්ධි දෙකින්) වෙන් වූයේ හැසිරෙන්නේ යි.
905. තවද (ඇතැම් මහණ බමුණු කෙනෙක් බුද්ධාදීන් විසින්) ජුගුප්සිත වූ ඒ අමරතපස් හෝ දෘෂ්ටිශුද්ධිය හෝ ශ්‍රැතශුද්ධිය හෝ මුත ශුද්ධිය හෝ ඇසුරු කොට අක්‍රියවාදාදි උද්ධංසරවාදි ඇත්තාහු පුන පුනා භවයෙහි නො හළ තෘෂ්ණා ඇත්තාහු ශුද්ධිය කියත්.
906. (මෙසේ ) ප්‍රාර්‍ත්‍ථනා කරන්නහුට මැ තෘෂ්ණාජල්පිතයෝ වෙති. තෘෂ්ණාදෘෂ්ටීන් ප්‍රකල්පිත වූ වස්තූන් කොට අතිශයින් සැලීම ද වෙයි. මෙලොව යම් ක්‍ෂීණාස්‍රවයක්හට ච්‍යුති උත්පත්ති නැත් ද හෙතෙම කිනම් රාගාදියකින් සැලෙන්නේ ද, කොහි ජල්පනය කරන්නනේ ද?
907. ඇතැම් මහණබමුණු කෙනෙක් යම් දහමක් උතුමැයි කියත් නම්, අන්‍යයෝ එ මැ දහම හීන යයි කියත්. මෙ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය වූයේ ද? මොහු සියල්ලෝ මැ කුශලවාද ඇත්තාහු ම වෙත් ද?
908. (ඇතැම්) මහණබමුණෝ තමන් තමන්ගේ මැ ධර්‍මය පරිපූර්‍ණය යි කියති. අන්‍යයන්ගේ ධර්‍මය හීන යයි කියත්. මෙසේත් දැඩි කොට ගෙණ විවාද කෙරෙති. තමන් තමන්ගේ මැ දෘෂ්ටිසම්මතිය සත්‍ය යයි කියත්.