4. 11.
කලහවිවාද සූත්‍රය
පෘච්ඡා:
866. කලහයෝත් විවාදයෝත් කොතැනින් උපන්හු ද? පරිදේව ශෝකයෝත් මාත්සර්‍ය්‍යයෝත් මානඅභිමානයෝත් පිසිනුබසුත් යන මොහු අටදෙන කොතැනින් ප්‍රභූත වූහු ද? එඅරුත වදාළ මැනව.
විසර්‍ජන:
867. කලහයෝත් විවාදයෝත් පරිදේව ශෝකයෝත් මාත්සර්‍ය්‍යයෝත් මාන-අතිමානයෝත් පෛශූන්‍යයෝත් (යන මොහු අටදෙනා) ප්‍රියවස්තූහු කෙරෙන් උපන්හ. කලහවිවාදයෝ ද (පරිදේව-ශෝක-මාන අතිමාන පෛශුන්‍ය යෝ ද) මාත්සර්‍ය්‍යය හා යෙදුනාහු වෙත්, විවාද උපදුත් ම පිසුන් බස් උපදනේ ය.
පෘච්ඡා:
868. ලෝකයෙහි ප්‍රියවස්තූහු කොයින් උපන්නාහු ද? නොහොත් කුමක් නිදාන කොට ඇත්තාහු ද? ලොව්හි ක්‍ෂත්‍රියාදි යම් කෙනෙක් ලෝභයෙන් හැසිරෙත් නම් එ ලෝභය කුමක් නිදාන කොට ඇත් ද? ආශාවත් එහි සමෘද්ධියත් කුමක් නිදාන කොට ඇත්තාහු ද? මනුෂ්‍යයාට යම් ධර්‍ම කෙනෙක් පරලොව්හි පිහිට පිණිස වෙත් නම්, ඒ ධර්‍මයෝ කොයින් උපන්හු ද?
විසර්‍ජන:
869. ලෝකයෙහි ප්‍රියවස්තූහු කාමච්ඡන්‍දය නිදාන කොට ඇත. යම් ක්‍ෂත්‍රියාදි කෙනෙක් හෝ ලෝභය හේතු කොට ලොව්හි හැසිරෙත් නම් ඔවුන්ගේ ඒ ලෝභයත් කාමච්ඡන්‍දය නිදාන කොට ඇත, ආශාවත් ආශාසමෘද්‍ධියත් මේ කාමච්ඡන්‍දයම නිදාන කොට ඇත. යම් ධර්‍ම කෙනෙක් මිනිසාට පරලොව්හි හිත පිණිස වෙත් නම් උහු ද කාමච්ඡන්‍දය නිදාන කොට ඇති.
පෘච්ඡා:
870. ලෝකයෙහි කාමච්ඡන්‍දය කුමක් නිදාන කොට ඇතියේ ද? තෘෂ්ණා-දෘෂ්ටි විනිශ්චයයෝ හෝ කොතැනින් උපන්නාහු ද? ක්‍රෝධයත් මෘෂාවාදයත් විචිකිච්ඡාවත් බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් දෙසන ලද යම් අකුශල ධර්‍මයෝ හෝ වෙත් නම් ඔහු කොතැනින් උපන්නාහු ද?
විසර්‍ජන:
871. ලොව්හි සුව යයි ද දුකැයි ද යමක් කියත් නම් එ සාත-අසාත වේදනා නිසා කාමච්ඡන්‍දය උපදනේ ය. ලෝකයෙහි සත්ත්‍ව තෙමේ භූතොපාදාය රූපයන්හි විනාශයත් උදයත් දැක තෘෂ්ණා-දෘෂ්ටි විනිශ්චය කරන්නේ යි.
872. ක්‍රෝධය හා මෘෂාවාදය හා විචිකිච්ඡා හා යන මේ ධර්‍මයෝත් සාතාසාතවේදනා දෙක ඇතිවත් ම වෙත්. විචිකිච්ඡායෙන් යුක්ත පුද්ගල තෙමේ ඥානදර්‍ශනඥානාධිගමය සඳහා ත්‍රිවිධශික්‍ෂාහි හික්මෙන්නේ ය. බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් අනිත්‍යාදි විසින් දැන ධර්‍මයෝ දෙසන ලදහ.
පෘච්ඡා:
873. සුඛවේදනා දුඃඛවේදනා යන මොහු කුමකින් උපදනාහු ද? කුමක් නැතිවත්ම මොහු නූපදනාහු ද? යළි ඒ සාතාසාතයන්ගේ විනාශය හා උපත යන යම් අර්‍ත්‍ථයෙක් යමෙකින් වේ නම්, ඔවුන්ගේ තෙල කාරණය මට ප්‍රකාශ කළ මැනැව.
විසර්‍ජන:
874. සුඛවේදනා හා දුඃඛවේදනා හා ස්පර්‍ශය නිදාන කොට ඇත. ස්පර්‍ශය නැතිවත් ම තෙල සාතාසාතයෝ නූපදනාහ. සාතාසාතයන්ගේ විනාශය හා උදය හා යන යම් අර්‍ත්‍ථයෙක් මෙ පහස කරුණු කොට උපදනේ නම් තෙල අරුත් තොපට කියමි.