2. 9.
කිංසීල සූත්‍රය
326. කෙබඳු චාරිත්‍රශීලයෙකින් සමන්‍විත වූයේ කෙබඳු චාරිත්‍රශීලයක් ඇත්තේ කවර කායකර්‍මාදියක් වඩන්නේ පුරුෂ තෙමේ මොනොවට සස්නෙහි පිහිටියේ වන්නේ ද උත්තමාර්‍ත්‍ථයට (අර්‍හත්‍වයට) පැමිණෙන්නේ ද?
327. (ගුණ-ප්‍රඥාදෙකින්) වැඩීසිටියවුන් පුදන්නේ (ඔවුන්ගේ ලාභාදියෙහි) ඊර්‍ෂ්‍යා නැත්තෙක් වන්නේ ය. ගුරුන් දැකීමට සුදුසු කල් දන්නෙක් වන්නේ ය. (ධර්‍මකථා) ක්‍ෂණය දන්නේ දෙසන ලද (සමථ විපස්සනාවෙන් යුත්) දැහැමි කථාව ද (අනෙකුදු) සුභාෂිතයන් ද සකසා අසන්නේ ය.
328. තදබව (මානය) වනසා දමා යටහත් පැවතුම් ඇත්තේ සුදුසු කල්හි ගුරුන් වෙත යන්නේ ය. භාෂිතාර්‍ත්‍ථය ද පාළිධර්‍මය ද ශීලය ද ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය ද අනුස්මරණය කරන්නේ ය. පුරුදු ද කරන්නේ ය.
329. (ශමථ විදර්‍ශනා) ධර්‍මයෙහි රැඳුනේ (එම) ධර්‍මයෙහි ම නියැලුනේ ධර්‍මයෙහි පිහිටියේ (උදයඤාණ වයඤාණ විසින්) ධර්‍ම විනිශ්චය දන්නේ (සමථ විපස්සනා)ධර්‍මය කිලිටිකරණ කථා නො ම පුරුදු කරන්නේ ය. සත්‍ය වූ සුභාෂිතවලින් කල් ගත කරන්නේ ය.
330. පහකළ (ආරෝග්‍යමදාදි) මද ඇත්තේ (චිත්ත වික්‍ෂේප නැති හෙයින්) පිහිටි සිත් ඇත්තේ සිනාව ද නිසරු තෙපුල් ද (ඥාතිව්‍යසනාදියෙහි) වැලපීම ද මනඃප්‍රදෝෂය ද (රවටනාබව වන) මායාව ද (ත්‍රිවිධ) කොහොන ද (සිවුපසයෙහි) ගිජුබව ද (ජාතිමානාදි) මානය ද (කරණෝත්තරියකරණ සඞ්ඛ්‍යාත) සාරම්භය ද, පරොස්බස් කියන බව ද, (රාගාදි) කසට ද (අධිකතෘෂ්ණා සඞ්ඛ්‍යාත) මූර්ඡාව ද හැරදමා හැසිරෙන්නේ ය.
331. යම් පුරුෂයෙක් (රාගාදියෙන්) සැහැසි වූයේ (කුසල්දම් නොවඩනා හෙයින්) පමා වූයේ වේ ද, ඔහුට (සමථවිපස්සනා යි කියන ලද) සුභාෂිතයෝ දැනීම හර කොට ඇත්තාහු වෙති. ශ්‍රැතමය ඥානය ද දන්නාලද සමාධිය සාරය කොට ඇත්තේ වෙයි. ඔහුගේ ශ්‍රැතය ද ප්‍රඥාව ද නො වැඩේ.
332. යමෙක් තුමූ බුද්ධාදි ආර්‍ය්‍යයන් විසින් දෙසන ලද ශමථ විදර්‍ශනා ධර්‍මයෙහි වචසින් මනසින් හා කර්‍මයෙන් ඇලුනාහු වෙත් ද ඔහු අනුත්තර වෙති. නිර්‍වාණ නමැති ශාන්තිය අරමුණු කොට ඇති මාර්‍ග ප්‍රඥාවෙහි හා මාර්‍ගසමාධියෙහි පිහිටියා වූ ඔහු ශ්‍රැතයාගේ හා ප්‍රඥාවේ සාරය වූ අර්‍හත්ඵල විමුක්තිය ලැබුවාහු ය.
කිංසීල සූත්‍රය නිමි.
2. 10.
උට්ඨාන සූත්‍රය
333. (අලස බැවින්) නැගී සිටිවු, (පළක් බැඳ කර්‍මස්ථානානුයෝගය සඳහා) හිඳිවු, තොපට නින්දෙන් කවරැ අර්‍ත්‍ථයෙක් ද? හුලින් විදිනා ලදුව පෙළෙන ආතුරයනට කවර නින්දෙක් ද?
334. නැගී සිටිවු, හිඳගණිවු, (නිර්‍වාණ) ශාන්තිය පිණිස දැඩිව හික්මෙවු. තොප පමාවූවන් දැන වසගයන් කොට මරරද නහමක් මුළාකෙරේවා !