2. 7.
බ්රාහ්මණධම්මික සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙන සේක. ඉක්බිත්තෙන් කොසොල් දනවු වැසි ජරාවෙන් ජීර්ණ වූ වැඩි මහලු වූ තෙවන වියට පැමිණි පිළිවෙළින් පැසුළු වියට පැමිණි බොහෝ බමුණු මහසල්හු භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ හා සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ඒ බමුණු මහසල්හු භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:
භවත් ගෞතමයන් වහන්ස, මෙ කල්හි බමුණෝ පැරණි බමුණන්ගේ බමුණු දහම්හි පැණෙත් දැ යි?
බ්රාහ්මණයෙනි, මෙකල්හි බමුණෝ පැරැණි බමුණන්ගේ බමුණු දම්හි නො පැණෙත් මැ යි.
ඉදින් භවත් ගෞතමයන් වහන්සේට නො බර නම්, භවත් ගෞතමයන් වහන්සේ අපට පැරැණි බමුණන්ගේ බමුණු දහම් වදාරණසේක් නම් මැනැවි.
බමුණනි, එසේනම් අසවු, මොනොවට මෙනෙහි කරවු. දෙසන්නෙමි.
“භවත්නි, එසේය” යි ඒ බමුණු මහසල්හු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
භාග්යවතුන් වහන්සේ තෙල කරුණු වදාළ සේක.
286. (සීලසංයමයෙන්) සංයත වූ (ඉන්ද්රිය සංවරයන්) තපස්වී වූ පැරණි ඍෂිවරු වූහ. ඔහු පස්කම් ගුණ හැර දමා (මන්ත්රාධ්යානයබ්රහ්මවිහාර භාවනාදී) ආත්මාර්ත්ථයෙහි හැසුරුණාහ.
287. (පැරණි) බමුණනට සිවුපාවෝ නො වූහ. අමුරන් ද නො වීය. ධාන්ය ද නො වීය. ස්වකීය මන්ත්රාධ්යයනය කොට ඇති වූහ. (මෙත්තා කරුණාදී) බ්රහ්මනිධිය රැකියහ.
288. ඔවුන් උදෙසා යම් බතක් පිළියෙළ කරන ලද්දේ දොරටුවෙහි එළවා තබන ලද වී ද, එය සැදැහැයෙන් පිළියෙළ කරණ ලද, පිඬු සොයනවුනට දීම සඳහා ය යි (මිනිස්සු) සිතූහ.
289. (උපකරණයෙන්) සමෘද්ධ වූ ඒ දනවු රටවැස්සෝ ද නන් පැහැයෙන් රඳනා ලද වතින් ද සයනාසනයන්ගෙන් හා ආවාසයන්ගෙන් ද (පුදමින්) බමුණන් නැමදූහ.
290. බමුණෝ, අවධ්ය හා නොදිනිය යුතු හා දහමින් රක්නාලද්දාහු හා වූහ. හැම කැලදොරටුවෙක්හි කිසිවෙක් කිසි ලෙසෙකිනුදු ඔවුන් නො වැළැක්වූහ.
291. ඔවුහු අටසාළිස්වසක් කුමර බඹසර වුසූහ. පෙර බමුණෝ විද්යාධ්යයනය හා සිල් රැකීම ද කළහ.
292. බමුණෝ පරඹුන් වෙත නො ගියහ. ඔවුහු අඹුවන් මිළට නොගත්හ. අන්යෝන්ය ප්රේමයෙන් සමග සංවාසය මැ කැමැති වූහ.