2. 11.
රාහුල සූත්රය
337. කිම නිතර සමඟ විසීම් හේතුයෙන් තෙපි පණ්ඩිත වූ (සැරියුත්) තෙරුනට අවමන් නො කරවු ද? මිනිසුනට නැණ පහන දල්වන්නේ කිම, තොප විසින් පුදන ලදුයේ ද?
338. නිතර සමඟ විසීම් හේතුවෙන් (ඒ) පණ්ඩිතයන් වහන්සේට අවමන් නොකරමි, මිනිසුනට නැණ පහන දල්වන ඔබ මා විසින් නිතර පුදන ලද්දාහු වෙත්.
වතථූගාථා යි.
339. ප්රියස්වරූප වූ මනරම් පස්කම් ගුණ හැරපියා සැදැහැයෙන් ගිහිගෙන් නික්ම දුක් කෙළවර කරනුයේ වව.
340. කලණමිතුරන් ද ජනශූන්ය වූ මහජනහඬින් තොර වූ ප්රාන්ත සෙනසුන් ද ඇසුරු කරව.
341. සිවුරෙහි ද පිණ්ඩපාතයෙහි ද ගිලන්පසයෙහි ද සෙනෙසුන්හි ද යන මෙහි නහමක් තෘෂ්ණා කරව, වැලිත් ලෝකයට (උපත් විසින්) නහමක් පැමිණෙව.
342. ප්රාතිමෝක්ෂසංවරශීලයෙහිද පඤ්චෙන්ද්රියයන්හිද සංවෘත වව. තොප සිත්හි කාගියා සී වේවා! නිර්වේදය බහුල කොට ඇතියෙක් වව,
343. ශුභ වූ රාගය අසුරු කළ නිමිත්ත දුරලව, අශුභ භාවනායෙහි එකඟ වූ මොනොවට පිහිටි සිත වඩව.
344. (නිත්ය නිමිති රහිත බැවින්) අනිමිත්ත වූ විදර්ශනා භාවනාව වඩව. මානානුසය රහත්මගින් දුර ලව. ඉක්බිති මානයාගේ ව්යපශමයෙන් උපශාන්ත වූයේ හැසිරෙව යනු යි.
මෙසේ භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් වූ රාහුලයනට මේ ගාථාවලින් නිතර අවවාද කරන සේක.
රාහුල සූත්රය නිමි.
2. 12.
නිග්රෝධකප්ප (වඞ්ගීස) සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක් හි භාග්යවතුන් වහන්සේ අළවුරට අග්ගාළව නම් චෛත්යයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් වඞ්ගීස තෙරුන්ගේ නිග්රෝධකප්ප නම් වත් තෙරණුවෝ අග්ගාලව චෙතියෙහි දී පිරිනිවී නොබෝකල් ඇති වෙත්.
ඉක්බිති ගණයා කෙරෙන් වෙන්ව විවේකයට ගිය පිළිසලනෙහි යෙදුනු ආයුෂ්මත් වඞ්ගීස තෙරුන්ගේ සිත්හි මෙබඳු පරිවිතර්කයෙක් උපන: “මාගේ උපාධ්යාය පිරිනිවියේ දෝ හෝ නො පිරිවිනියේ දෝ හෝ” යි.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර සවස් කල්හි පිළිසලනින් නැගිටියේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නේ ම ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර භාග්යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය: ස්වාමීනි, මෙහි විවේකස්ථානයට ගියාවූ පිළිසලනෙහි ඇළුනු මාගේ සිත් හී මෙබඳු පරිවිතර්කයෙක් උපන: “මාගේ උපාධ්යාය පිරිනිවියේ දෝ නො පිරිනිවියේ දෝ” යි.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙරණුවෝ හුනස්නෙන් නැගී සිවුර එකස් කොට භාග්යවතුන් වහන්සේ වෙත ඇඳිලි නමා භගවත් හට ගාථායෙන් (මෙසේ) කීහ.
345. යම් භාග්යවතුන් වහන්සේ කෙනෙක් ඉහාත්මභාවයෙහි ම සැක දුරලන්නාහූ වෙත් ද, මහාප්රාඥ ශාස්තෘ වූ මුබවහන්සේ පුළුවුස්මි. ප්රකට වූ යශස්වී වූ නිවුනු සිත්ඇති මහණකෙනෙක් අග්ගාලව චෛත්යයෙහි කලුරිය කළහ.