1. 9.
හේමවත සූත්‍රය
153. සාතාගිර යක්‍ෂ මෙසේ කියයි: අද පණුරැසි පොහෝ දවස යි. දිව්‍ය වූ රාත්‍රිය එළඹ සිටියා වෙයි. එහෙයින් නො ලමු නම් ඇති ගෞතම ශාස්තෘන් වහන්සේ දකුම්හ.
154. හේමවත යක්‍ෂ මෙසේ අසයි: කිම! (ඒ ශාස්තෘහුගේ) සිත මොනොවට සමාහිත වේ ද? සව් සතුන් කෙරෙහි සමසිත් ඇද්ද? (නොහොත්) නැද්ද? කිම, අනිටු අරමුණෙහි ඔබගේ සංකල්පයෝ වශීකෘත වෙද්ද?
155. සාතාගිර යක්‍ෂ මෙසේ කියයි: සියල් සතුන් කෙරෙහි සමසිත් ඇති උන්වහන්සේ සිත ද මොනොවට සමාහිත වෙයි. වැලිත් ඉටු අනිටු අරමුණෙහි උන්වහන්සේගේ විතර්‍කයෝ වශීකෘතයහ.
156. හේමවත යක්‍ෂ මෙසේ අසයි: කිම, ඔබ අයිනාදන් දෑ නො ගන්නේ ද? කිම, ප්‍රාණීන් විෂයයෙහි සංයත ද? කිම, (අබ්‍රහ්මචර්‍ය්‍ය සංඛ්‍යාත) ප්‍රමාදයෙන් (පාඨාන්තරයෙහි මාගම් කෙරෙන්) දුරු වූයේ ද? කිම, ධ්‍යානය නොසිස් කෙරේ ද?
157. සාතාගිර යක්‍ෂ මෙසේ කියයි: හෙ අයිනාදන් නො ගන්නේය. යළි ප්‍රාණීන් කෙරෙහි සංයත ද වෙයි. යළිදු අබ්‍රම්සරින් (නොහොත් මාගම් කෙරෙන්) දුරු වූයේ ය. ඒ බුදුරජ දැහැන් සිස් නොකෙරේ.
158. හේමවත යක්‍ෂ මෙසේ අසයි: කිම, මුසවා නො බෙණේ ද? කිම, පරොස් බස් නැත්තේ ද? කිම. වෙභූතිය යි කියූ බස් නො කියා ද? කිම, පලප් නො බෙණේ ද?
159. සාතාගිර යක්‍ෂ මෙසේ කියයි: හේ මුසා නො බෙණෙයි, වැලි පරොස් බස් නැත්තේ වෙයි, තවද පිසුනු ද නො තෙපලයි, හෙතෙම නුවණින් පිරිසිඳ දැන අරුත්ම බෙණෙයි.
160. හේමවත යක්‍ෂ මෙසේ අසයි: කිම, (ක්ලේශකාමයෙන්) වස්තුකාමයන්හි නො ඇලේ ද? කිම, සිත (ව්‍යාපාදයෙන්) නො කැලඹුනේ ද? කිම, මෝහය ඉක්ම වූයේ ද? කිම, සියලු දහම් හි (සවන්නැණ) නුවණැස් ඇත්තේ ද?
161. සාතාගිර යක්‍ෂ මෙසේ කියයි: හේ කාමයන්හි නො ඇලෙයි, වැලිදු සිත නො කැලඹුණේ වෙයි. සියලු මෝහය ඉක්ම වූයේ වෙයි, බුදුරජ සියලු දහම්හු (අප්‍රතිහත) නුවණැස ඇත්තේ ය.