1. 10.
ආළවක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අළවුරට ආළවක නම් යක්හුගේ භවනයෙහි වැඩවසන සේක. ඉක්බිති අළවු යක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේට වෙත තෙල කීය:
“මහණ, නික්ම යා,”යි.
“මැනැවැ ඇවැතැ”යි භාග්‍යවතුන් වහන්සේ නික්මුණු සේක.
“එව මහණැ”යි.
“මැනැවැ, ඇවැතැ”යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක.
දෙවන වට ද අළ වු යක් භාග්‍යවතුන් වහන්සේට තෙල කීය: “නික්ම යා මහණ”යි.
“මැනැවැ, ඇවැතැ”යි භාග්‍යවතුන් වහන්සේ නික්ම ගිය සේක.
“එව මහණැ”යි.
“මැනැවැ, ඇවැතැ”යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක.
තෙවනවට ද අළවු යක් භාග්‍යවතුන් වහන්සේට තෙල කීය: “නික්ම යා මහණැ” යි.
“මැනැවැ ඇවැතැ” යි භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි සේක.
“එව මහණැ” යි.
“මැනැවැ, ඇවැතැ” යි භාග්‍යවතුන් වහන්සේ පිළිවිසි සේක.
සතරවන වට ද අළවු යක් භාග්‍යවතුන් වහන්සේට තෙල කීය: “නික්ම යා මහණැ”යි.
“එ කරුණින් ම ඇවැත, මම් නොයමි, තා විසින් යමක් කට හැකි නම්, එය කරව”යි
“මහණ, තා පැන පුළුවුස්මි. ඉදින් තෝ එය මට නො විසඳනෙහි නම්, තාගේ සිත හෝ පෙරලන්නෙමි, තාගේ හදවත හෝ පළන්නෙමි, දෙපය අල්වා ගෙණ ගඟිනෙතර හෝ දමාපියමි”යි.
ඇවැත යමෙක් මාගේ සිත හෝ පෙරළා නම් හදවත හෝ පලානම් දෙපය හෝ අල්වා ගෙන ගඟිනෙතර හෝ දමාගසා නම් එබන්දකු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි හෝ මහණ බඹුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි, නො මැ දක්මි. එහෙත් ඇවැත, යමක් කැමැත්තෙහි නම් විචාර”යි.
එකල්හි අළවු යක් භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:
183. මෙලොව්හි පුරුෂ හට කවර ධනයෙක් ශ්‍රේෂ්ඨ වේ ද? මොනොවට පුරුදු කරන ලද කවරෙක් සුව එළවා ද? කවරෙක් රසයන් අතුරෙන් ඉතා මියුරු වේද? කිසෙයින් දිවිවටනහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨයයි කීහු ද?”යි
184. මෙලො වැ ශ්‍රද්ධාව පුරුෂ හට ශ්‍රේෂ්ඨ ධනය වේ, (දාන, ශීල, භාවනා) ධර්‍මය මොනොවට පුරුදු කරණ ලදුයේ සුව එළවයි, රසයන් අතුරෙන් සත්‍යය ඒකාන්තයෙන් මියුරු වෙයි. ප්‍රඥාවෙන් දිවිවටනුවහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨ යයි කීහු,
185. කිසෙයින් ඕඝතරණය කෙරේ ද? කිසෙයින් සසර සයුරු තරණය කෙරේ ද? කිසෙයින් වෘත්තදුඃඛය ඉක්මයේ ද? කිසෙයින් පිරිසිදු වේ ද?යි.