1. 7.
වසල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු මහසිටුහුගේ අම්හි වැඩවෙසෙනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු යෙහි හැද පෙරෙවැ පාසිවුරු ගෙන සැවැත් නුවරට පිඬුසිඟා වැඩි සේක. එසමයෙහි අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයාගේ නිවෙස්න සමීපයෙහි හෝම ගිනි දල්වන ලද වෙයි. ඉදිරියෙහි හොමද්‍රව්‍ය එළවනලද වෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ගෙපිළි වෙළින් පිඬුසිඟා වඩනාසේක්. අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයාගේ නිවෙසට වැඩි සේක, අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණ දුර ම වඩනා භාග්‍යවතුන් වහන්සේ දිටී. දැක භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කීය: මුණ්ඩකය, ඔබ මැ සිට, ශ්‍රමණකය ඔබ මැ සිට, වසලකය ඔබ මැ සිට යි.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ අග්ගික භාරද්වාජ බමුණු හට තෙල වදාළහ: “බමුණ, තෝ වැලිත් වසලයා වේවයි වසල කරණ ධර්‍ම වේවයි දන්හි දැ”යි.
“භවත් ගෞතමයානන් වහන්ස, මම වසලයා වේවයි වසල කරණ ධර්‍ම වේවයි නො දන්මි ඉදින් භගවත් ගෞතමයන් යම් පරිදි මම වසල වේවයි, වසල කරණ ධර්‍ම වේවයි දැනගණිම් ද එපරිදි භවත් ගෞතමයානන් වහන්සේ දහම් දෙසන සේක්වා”යි.
එසේ නම් “බ්‍රාහ්මණය, අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි”යි. “භවත්නි, එසේය” යි අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වීය. භාග්‍යවතුන් වහන්සේ තෙල වසල සුත් වදාළ සේක:
116. යම් මිනිසෙක් කිපෙන සුලු යේත් බඳනාලද වෙර ඇතියේත් පවිටු ලමු ගුණමකු වූයේත්, විපර්‍ය්‍යස්තදෂ්ටි ඇතියේත් මායාවීත් වේ ද, ඔහු (ලමුදම් වස්වන හෙයින්) ‘වසලයෙකැ’යි දන්නේය.
117. මෙලොවැ යමෙක් ඒකජ වේවයි. ද්වීජ වේවයි ප්‍රාණීන් දිවිගලවා ද, යමක් හට ප්‍රාණීන් කෙරෙහි දයා නැත් ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේ ය.
118. යමෙක් ගමුදු නියම්ගමුදු වනසා ද, වටලාගණී ද “ගම් පහරණ සොරෙකැ” යි පළට වේ ද, ඔහු ‘වසලයෙකැ’ යි දන්නේ ය.
119. ගම්හි වේවයි වල්හි වේවයි අනුන් විසින් මමත්‍ව කළ (හිමියන් විසින් නොදුන්) වතක් සොර සිතින් ගණී ද, ඔහු ‘වසලයෙකැ’ යි දන්නේ ය.
120. යමෙක් එකැතින් (පරාගෙන්) ණය ගෙණ චෝදනා කරණු ලබන්නේ “තට මාගේ ණයක් නැතැ”යි පලායේ නම් ඔහු ‘වසලයෙකැ’යි දන්නේ ය.
121. යමෙක් අල්පමාත්‍රවූ ද, කිසිවක් කැමැත්තෙන් මගැ යන ජනයා නසා බඩු වොලො ගණී ද ඔහු ‘වසලයෙකැ’ යි දන්නේ ය.
122. යමෙක් ආත්ම හේතුයෙන් හෝ පරහේතුයෙන් හෝ වේවයි තවද යම් මිනිසෙක් ධනය හේතුයෙන් හෝ සාක්‍ෂි කොට පුළුවුස්නා ලදුයේ දැන දැන මුසා බෙණේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේ ය.
123. යමෙක් නෑසබඳුන්ගේ වේවයි යහලුවන්ගේ වේවයි අඹුවන් කෙරෙහි බලහත්කාරයෙන් හෝ දෙදෙනාගේ සනායෙන් හෝ ප්‍රතිකූල සේ මර්‍ය්‍යාදා භේද කරණු දක්නා ලැබේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
124. යමෙක් අර්‍ත්‍ථොපකරණයෙන් පොහොසත් වූයේ ජරාවෙන් දිරූ ගිය යොවුන් ඇති මව හෝ පියා හෝ නො පුස්නේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.