1. 6.
පරාභව සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර නම් අනේපිඬු සිටිහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි විශිෂ්ට වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය එකලු කරමින් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් සැළ කෙළේය.
91. අපි ගෞතමයන් වහන්සේ පිරිහෙන පුඟුල් පුළුවුසුම්හ. භාග්‍යවතුන් වහන්සේ පුළුවුස්නට අවුත් සිටියම්හ. (ගෞතමයන් වහන්ස) පිරිහෙන පුඟුල්හුගේ මුඛය (කාරණය) කිම?
92. වැඩෙන (දියුණුවන) පුරුෂ සුවසේ දත හෙයි. පිරිහෙන පුරුෂ මොනොවට දත හෙයි. (දසකුසල්) දහම් කැමැත්තේ වැඩෙනු වෙයි. දහමට ද්වේෂ කරණුයේ පිරිහෙනු වෙයි.
93. මෙසෙයින් තෙල දැනගනුම්හ. ඒ ධර්‍මද්වේෂිතා ලක්‍ෂණය පළමුවන පරාභවයයි, භාග්‍යවතුන් වහන්ස, පිරිහෙන පුඟුල්හුගේ දෙවන පරාභව මුඛය කිමැයි වදාළ මැනැවැ.
94. ඔහුට අසත්පුරුෂයෝ ප්‍රිය වෙති. (බුද්ධාදි) සත්පුරුෂයා කෙරෙහි ප්‍රිය නොකෙරෙයි. අසත්පුරුෂයන්ගේ (දෙසැටමිසදිටු) දහම රුස්නේ වේ. එය පිරිහෙන කරුණ වෙයි.
95. මෙසෙයින් තෙල කරුණ දැනගනුම්හ. එ ලක්‍ෂණය දෙවන පරාභවයයි, භාග්‍යවතුන් වහන්ස, පිරිහෙන පුඟුල්හුගේ තෙවන පරාභව කාරණය කිමැයි වදාළ මැනැව.
96. යම් මිනිසෙක් නිදනසුලු වේ ද, ගණයා කෙරෙහි ඇලෙන සුලු වේ ද, උත්‍ථානවීර්‍ය්‍ය නැතියේ ද, උපතින් අලස වේ ද, ක්‍රෝධය ලක්‍ෂණ කොට ඇති වේ ද, එය පිරිහෙන පුඟුල්ගේ මුඛ යි.
97. මෙසෙයින් තෙල කරුණ දැනගනුම්හ. තෙල ලක්‍ෂණය තෙවන පරාභවයයි, භාග්‍යවතුන් වහන්ස, පිරිහෙනුහුගේ සිව්වන දොර කිමැයි වදාළ මැනැවි.
98. යමෙක් පොහොසත් වූයේ ජරාජීර්‍ණ වූ ඉක්මගිය යොවුන් බව ඇත මව හෝ පිය නො පුස්නේ ද, එ පිරිහෙන පුඟුල්හුගේ දොර යි.
99. මෙසෙයින් එ කරුණ දැනගනුම්හ. තෙල ලක්‍ෂණය සිවුවන කරුණැයි, භාග්‍යවතුන් වහන්ස, පිරිහෙන පුඟුල්හුගේ තෙල පස්වන දොර කිමැයි වදාළ මැනැවැ.
100. යම් බමුණෙකු වේවයි මහණකු වේවයි අන් කිසි යදියෙකු වේවයි මුසවායෙන් රවටා ද, එ පිරිහෙන පුඟුල්හුගේ දොර යි.