1. 4.
කසීභාරද්වාජ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ මගධදනවුයෙහි දක්ඛිණාගිරියෙහි ‘ඒකනාළා’ නම් බමුණුගම්හි වැඩවසනසේක. එකල්හි කසීභාරද්වාජ නම් බමුණු විසින් වප්දවස්හි පන්සියයක් පමණ නගුල් යොදනලද වෙයි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරුගෙණ කසීභාරද්වාජ බ්‍රාහ්මණයාගේ කර්‍මාන්තස්ථානය කරා වැඩිසේක. එසමයෙහි කසීභාරද්වාජ බ්‍රාහ්මණයාගේ බත්පිරිවිසීම ඇත. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බිදැ හිඳුනාතැන් කරා වැඩිසේක. වැඩැ එකත්පසෙක සිටිසේක. කසීභාරද්වාජ බමුණා පිඬු පිණිස වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ දිටී. දැකැ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කීය:
“මහණ මම සී සාමි, වපුරමි. සී සා, වපුට වළද කෙරෙමි. මහණ, තොයිත් සී සා, වපුර. සී සා වපුට වළඳව”යි
“බමුණ, මමත් සී සාමි, බිජුවට වපුරමි. සී සා වපුට වළඳමි”යි.
“අපි භවත් ගෞතමයන්ගේ වියගස වේවයි, නගුල් වේවයි, හීවැල් වේවයි, කෙවිට වේවයි, ගෙරිසරක් වේවයි නොදක්මහ. එතෙකුදුවූවත් බවත් ගෞතම මෙසේ කියයි; මම ද බමුණ සී සාමි, වපුරමි, සී සා වපුට වළඳමි” ඉක්බිති කසීභාරද්වාජ බමුණු භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කී:
76. ‘(තෙපි)‘කර්‍ෂකයෙමි’යි ප්‍රතිඥා කරව. තොපගේ කෘෂිභාණ්ඩ නො ද දකුම්හ. යම් පරිද්දෙකින් තොපගේ කෘෂිභාණ්ඩ දනුමෝ නම්, එපරිද්දෙන් පුළුවුස්නාලද තෙපි අපට කෘෂිභාණ්ඩ කියව’යි.
77. මාගේ ශ්‍රද්ධාව බිජුවට වෙයි. තපස වැසිදහර වෙයි, ප්‍රඥාව විය හා නගුල් වෙයි. හිරිය නගුලිස් වෙයි. චිත්තය වියරැහැන් වෙයි. ස්මෘතිය මාගේ හීවැල හා කෙවිට යි.
78. (ත්‍රිවිධ) කායසුචරිතයෙන් ගුප්තයෙමි. (චතුර්විධ) වාක්සුචරිතයෙන් ගුප්තයෙමි. සිවුපසෙහි (භෝජනයෙහි) දු (මාත්‍රඥතායෙන්) සංයතයෙමි. අවිසංවාදන සඞ්ඛ්‍යාත සත්‍යයෙන් කෑම්පීම් කෙරෙමි. (නිවනෙහි ඇලෙන හෙයින් අර්‍හත් ඵල සඞ්ඛ්‍යාත) සුරතභාවය මාගේ විය මිදීම වෙයි.
79. (නිර්‍වාණසඞ්ඛ්‍යාත) යම් ක්‍ෂේමයකට ගොස් ශෝක නොකෙරේ නම් ඒ යෝගක්‍ෂේම (නිර්‍වාණ) ය කරා නො නවත්වමින් යන සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යය මාගේ ධුරවාහක වෙයි.
80. මෙසෙයින් (මා විසින් ) තෙල සීසෑම කරන ලදී. ඒ කෘෂිකර්‍මය අමා ඵල ඇති. තෙල ඇත. තෙල කෘෂිකර්‍මය කොට සී සා හැම දුකින් මිදේය”යි.
එක්බිති කසීභාරද්වාජ බ්‍රාහ්මණ මහරන්තලියෙක්හි කිරිපිඬු වඩා “යම් හෙයෙකින් භවත් ගෞතමයන් වහන්සේ අමෘත ඵලවත් කෘෂිකර්‍ම කරන්නාහු නම්, භවත් ගෞතමයන් වහන්සේ එබඳු කර්‍ෂක (ගොවි ) වන්නාහ. භවත් ගෞතමයෝ පායාස වළඳවත්වා”යි. භාග්‍යවතුන් වහන්සේට පිරිනැමී.