4. 16.
815. උමතුගති ඇත්තකු මෙන්ද භ්‍රාන්ත වූ මුවකු මෙන් ද ඔබ මොබ දුවන්නෙහි නිසැකව ම පව්කමකි. කුමක් හෙයින් මහහඬ නඟමින් හැසිරෙහි ද?
816. ස්වාමිනී, මම යමලොව උපන් දුකටපත් ප්‍රේතයෙක්මි. පව්කම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියෙමි.
817. නොඅඩු වූ සැටදහසක් යකුළු හැමපසින් ම මාගේ හිසෙහි හෙයි. ඒ යකුළු මාගේ හිස් මුදුන බිඳී.
818. කයින් වචනයෙන් සිතින් තා විසින් කිනම් පවක් කරන ලද ද? කිනම් කර්‍මවිපාකයෙකින් මේ දුකට පැමිණියෙහි ද?
819. පිරිපුන් සැටදහසක් යකුළු හැමපසින්ම තාගේ හිසෙහි හෙයි. ඒ යකුළු තාගේ මස්තකය බිඳියි.
820. වැඩූ ඉඳුරන් ඇති රුක්මුල වැඩහුන්, භාවනා කරන කිසි ලෙසෙකිනුත් බියක් නැති සුනෙත්‍ර නම් පසේබුදුන් දිටිමි.
821. මම අතකුරු ගැසීමෙන් උන්වහන්සේගේ හිස පැළුවෙමි. ඒ පව්කම්හි විපාකයෙන් මේ දුකට පැමිණියෙමි.
822. පිරිපුන් සැටදහසක් යකුළු මාගේ හිසෙහි හැම පසින් ම හෙයි. ඒ යකුළු මාගේ හිස්මුදුන බිඳී.
823. නින්‍දිත පුරුෂය තාගේ හිසෙහි නොඅඩු වූ සැටදහසක් යකුළු හැම පසින්ම හේ ද එසේ ම ඒ යකුළු තාගේ හිස බිඳී ද, එය තාගේ කර්‍මයට අනුරූප ලෙස සිදුවන්නෙකි.
සට්ඨිකූටසහස්ස ප්‍රේතවස්තු යි.
සතර වැනි මහාවර්‍ග යි.
එහි උද්දානය:
අම්බසක්ඛර යැ සේරිස්සක යැ පිඞ්ගල යැ රේවතී යැ උච්ඡුඛාදක යැ කුමාර වස්තු දෙක යැ ගුථඛාදක වස්තු දෙක යැ ගණප්‍රේත යැ පාටලීපුත්ත යැ පොක්ඛරණී යැ අම්බරුක්ඛ යැ භෝගසංහරණ යැ සෙට්ඨිපුත්ත යැ සට්ඨිකූට යැ යි ප්‍රේතවස්තු සොළසෙකි.
ප්‍රේතවස්තුපාළි නිමි.