ප්‍රේත වස්තු පාළි
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. උරගවර්‍ගය
1. 1.
1. රහත්හු කෙත වැනියහ. දායකයෝ ගොවියන් වැන්නාහ. දේයධර්‍මය (දානවස්තුව) බිජුවට වැනි ය. මේ කරුණු තුන හේතු කොට ගෙන කුසල ඵලය උපදියි.
2. (යථෝක්ත දේයධර්‍ම සංඛ්‍යාත) බීජය ද, (එහි වැපිරීම් නැමැති) ගොවිකම ද රහත් නමැති කෙත ද, යන මේ කරුණු තුන පරලොව ගියවුන්ට ද, දායකයන්ට ද උපකාර පිණිස වේ. පරලොව ගිය අය දන් දීමෙන් ලද ඒ විපාකය විඳිත්. දායකයා පිනින් වැඩෙයි.
3. (හෙ) මෙලොවැ මැ කුසල් කොට ප්‍රේතයන් ද පුදා (ප්‍රාප්තිදාන වශයෙන්) යහපත් කුසල් කොට දෙව්ලොවට පැමිණේ.
ඛෙත්තූපම ප්‍රේතවස්තු යි.
1. 2.
(නාරද තෙරණුවෝ මෙසේ පිළිවීසිති:)
4. තාගේ මුළුසිරුර රන්වන් ය. සියලු දික් බබුළුවයි. තාගේ මුව හූරුමුව වැන්න. තෝ පෙර කිනම් පව්කමක් කෙළෙහි ද?
(ප්‍රේතයා මෙසේ පිළිතුරු දෙයි)
5. මම කයින් සංවර වූයෙමි. වචනයෙන් අසංවර වූයෙමි. නාරදයෙනි, ඔබ දක්නා පරිදි ශරීරවර්‍ණයක් මට වූයේ එහෙයිනි.
6. නාරදයෙනි, ඔබ විසින් ම මේ සිරුර දක්නාලද, එහෙයින් මම ඔබට මෙය (අවවාද වශයෙන්) කියමි: මුවින් පවක් නො කරව. හූරුමුව ඇත්තෙක් නො වව.
සූකරමුඛ ප්‍රේතවස්තු යි.
1. 3.
(නාරද තෙරණුවෝ මෙසේ විචාරති:)
7. තෝ දෙව්සිරුරට බඳු යහපත් සිරුරුපැහැ ඇත්තෙහි, අහසෙහි සිටින්නෙහි, එහෙත් පණුවෝ දුගඳ හමන තාගේ මුඛය සිදුරු කොට කති. පෙරදෑයෙහි (තෝ) කවර කර්‍මයක් කෙළෙහි ද?
(ප්‍රේතයා මෙසේ පිළිතුරු දෙයි)
8. මම පෙර දුෂ්ටවචනයෙන් යුත් වාග්ද්වාරයෙන් අසංවර වූ ශ්‍රමණවේශධාරී පවිටුමහණෙක් වීමි. බඹසර බෙලෙන් මාගේ ශරීර වර්‍ණය ලද. පිසුනුබසින් මා මුව දුගඳ විය.
9. නාරදයෙනි, ඔබ තමන් විසින් ම මා සිරුර දක්නා ලද. කාරුණික නිපුණ වූ බුද්ධාදි උත්තමයෝ යමක් ප්‍රකාශ කළාහු නම් මම එය ම ඔබට කියමි. පිසුනුබස් නො කියන්න. මුසාවා ද නො බණින්න. එකල්හි ඔබ කැමති සැප විඳින දෙවි වන්නහු යි.
පූතිමුඛ ප්‍රේතවස්තු යි.
1. 4.
10. නොමසුරු තැනැත්තේ යම්කිසිවක් අරමුණු කොට දන් දෙන්නේ ය. පෙර කලුරිය කළවුන් හෝ නැතහොත් ගෙවතු ආදියට අරක් ගත් දෙවියන් ඇරැබැ හෝ දන් දෙන්නේ ය.
11. වෛශ්‍රවණ ය, ධ්‍රතරාෂ්ට්‍ර ය, විරූපාක්‍ෂ ය, විරූඪය යන යශස්වී ලෝකපාලක සිවුවරම් දෙවියන් අරබයා හෝ දන් දෙයි. ඔවුහු ද පුදන ලද්දෝ වෙත්. දායකයෝ ද නිෂ්ඵල නො වන්නෝ වෙත්.
12. මළවුන් සඳහා හැඬීමක් ශෝකයක් හෝ එයින් අන්‍ය වූ විලාප කීමක් හෝ නො කළයුතු ය. කලුරිය කළවුන්ට ඒ ඇඬීම් ආදිය ප්‍රයෝජනය පිණිස නො වෙයි. එහෙත් එසේ කරන මඳ නුවණැති නෑයෝ ද සිටිත්.
13. දායකයා විසින් දුන් මේ දානය සංඝයා කෙරෙහි මනාව පිහිටියේ ය. මේ ප්‍රේතයාහට බොහෝ කලක් මුළුල්ලෙහි හිත පිණිස (දානවිපාකය) එකෙණෙහි ම පැමිණේ.
පිට්ඨධීතලික ප්‍රේතවස්තු යි.