2. 3.
(ප්‍රේතිය දුටු තිස්සාවෝ විචාරති:)
134. තෝ නග්න යැ, විවරණ රූ ඇත්තීය, කෘශ ය, නහර ඉල්පුණු සිරුරු ඇත්තී ය. ඉල්පුණු ඉළ ඇටින් හා සිහින් සිරුරින් යුතු වැ මෙහි සිටින තෝ කවර යැ?
(ප්‍රෙතිය පිළිවදන් දෙයි:)
135. මම මත්තා ය, ඔබ තිස්සා යැ, පෙර මම ඔබ හා එක ම හිමියකු ඇති ව (සපත්නී ව) සිටියමු. පව්කම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියෙමු.
(තිස්සාවෝ පුළුවුස්නී:)
136. කා විසි මුනි තිදොරින් තී කළ පව කුමක් ද? කිනම් පවක විපාකයෙන් මෙලොවින් ප්‍රේතලෝකයට ගියවු ද?
(ප්‍රෙතිය:)
137. මම ක්‍රෝධ කරන, පරුෂ බස් තෙපලන, ඊර්‍ෂ්‍යා කරන, මසුරු සිත් ඇති, කෛරාටික ගති ඇත්තියක් වූමු. මම ඒ නපුරු වචන කථාකොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියමු.
(තිස්සාවෝ:)
138. යම්සේ තෝ කිපෙන්නියක් වූ ද, ඒ සියල්ල මමත් දනිමි. තිගෙන් අන් කරුණක් විචාරමි. කවර පව්කමෙකින් පසින් ගැවසුණු සිරුරු ඇති වූ ද?
(ප්‍රෙතිය:)
139. තෝ හිස් සෝදා නා පිරිසිදු වස්ත්‍ර හැඳ සැරසුණි යැ. මම ද තිට වඩා ඉතා වැඩියෙන් සැරසුණුමු.
140. ඒ මා බලා සිටිය දී ම තෝ ස්වාමියා සමග කථා කළහු යැ. ඒ හේතුයෙන් මාගේ ඊර්‍ෂ්‍යාව මහත් විය. මට ක්‍රෝධ උපන.
141. එහෙයින් මම පස් ගෙන එයින් තිට දමාගැසූමු. ඒ පව්කම්හි විපාකය නිසා පසින් ගැවසුණු සිරුරු ඇති වූමු.
(තිස්සාවෝ:)
142. තෝ මට පසින් දමාගැසූ යැ. ඒ සියල්ල මම ද දනිමි. මම අනිකක් ද තීගෙන් විචාරමි. කුමක් නිසා කැසීම් රෝගයකින් පෙළෙවු ද?
(ප්‍රෙතිය:)
143. අපි දෙදෙන ම බෙහෙත් ගෙනෙන්නමෝ වනයට ගියම්හ. තෝ බෙහෙත් ගෙන ආවහු යැ. මම වනාහි කසඹිලියා ගෙඩි ගෙන ආමු.
144. ඒ තී නො දන්නා කල මැ තිගේ ඇඳෙහි මම කසඹිලියා ගෙඩි විසිරුවා හළමු. ඒ පව්කම්හි විපාකයෙන් කැසීම් රෝගයෙන් පීඩිත වූමු.
(තිස්සාවෝ:)
145. තෝ මගේ ඇඳෙහි එය විසුළහු නම් ඒ සියල්ල මම දනිමි. අනික් කරුණක් ද තීගෙන් විචාරමි. කවර කරුණෙකින් තෝ නග්න වූවහු ද?
(ප්‍රෙතිය:)
146. (එකල) මිත්‍රයන්ගේ සමාගමයෙක් විය. නෑයන්ගේ රැස්වීමෙක් විය. සැමියා සහිත වූ තෝ ද කැඳවන ලදහු යැ. මම වනාහි නො කැඳවන ලදුමු.
147. ඒ තී නො දන්නා කල ම (නො දැනුවත්ව ම) තීගේ වස්ත්‍රයක් මම සොරා ගතුමු. ඒ අකුශල කර්‍ම විපාකයෙන් මම නග්න වූමු.