3. 9.
විදර්‍ශනා කථා
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වාස කරනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමැතූසේක. ‘භාග්‍යවතුන් වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, එකැතින් ඒ මහණ කිසි සංස්කාරයක් නිත්‍ය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට (ලෝකෝත්තරමාර්‍ගයට) බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, සම්‍යක්ත්‍වනියාමයට නො බස්නේ සෝවන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
මහණෙනි, එකැතින් ඒ මහණ හැම සංස්කාරයන් අනිත්‍ය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
මහණෙනි, එකැතින් ඒ මහණ කිසි සංස්කාරයක් සුඛ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, සම්‍යක්ත්‍වනියාමයට නො බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
මහණෙනි, එකැතින් ඒ මහණ හැම සංස්කාරයන් දුක් හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
මහණෙනි, එකැතින් ඒ මහණ කිසි ධර්‍මයන් ආත්ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, සම්‍යක්ත්‍වනියාමයට නො බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
මහණෙනි, එකැතින් ඒ මහණ හැම ධර්‍මයන් අනාත්ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
මහණෙනි, එකැතින් ඒ මහණ නිර්‍වාණය දුඃඛ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, සම්‍යක්ත්‍වනියාමයට නො බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
මහණෙනි, එකැතින් ඒ මහණ නිර්‍වාණය සුඛ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වේ.
කිහි අයුරෙකින් අනුලෝමක්‍ෂාන්තිය ලබා ද, කිහි අයුරෙකින් සම්‍යක්ත්‍වනියාමයට බස්නේ ද යත්:
සතලිස් අයුරෙකින් අනුලෝමක්‍ෂාන්තිය ලබයි, සතලිස් අයුරෙකින් සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යි.
කවර සතලිස් අයුරෙකින් අනුලෝමක්‍ෂාන්තිය ලබා ද, කවර සතලිස් අයුරෙකින් සම්‍යක්ත්‍වනියාමයට බස්නේ ද යත්:
පඤ්චස්කන්‍ධය අනිත්‍ය හෙයින් දුක් හෙයින් රෝග හෙයින් ගණ්ඩ හෙයින් ශල්‍ය හෙයින් විපත් හෙයින් ආබාධ හෙයින් පර (අවසඟ) හෙයින් බිඳෙන හෙයින් ව්‍යසන හෙයින් උපද්‍රව හෙයින් භය හෙයින් උපසර්‍ග හෙයින් චල හෙයින් බිඳෙන සුලු හෙයින් අධ්‍රැව හෙයින් අත්‍රාණ හෙයින් අලෙන හෙයින් අසරණ හෙයින් සිස් හෙයින් තුච්ඡ හෙයින් ශූන්‍ය හෙයින් අනාත්ම හෙයින් ආදීනව හෙයින් විපරිණාමස්වභාව හෙයින් අසාර හෙයින් අඝමූල හෙයින් වධක හෙයින් විභව හෙයින් සාස්‍රව හෙයින් සඞ්ඛත හෙයින් මාරාමිෂ හෙයින් ජාතිධර්‍ම හෙයින් ජරාධර්‍ම හෙයින් ව්‍යාධිධර්‍ම හෙයින් මරණධර්‍ම හෙයින් ශෝකධර්‍ම හෙයින් පරිදේවධර්‍ම හෙයින් උපායාසධර්‍ම හෙයින් සාංක්ලේශධර්‍ම හෙයිනි.
පඤ්චස්කන්‍ධය අනිත්‍ය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නිත්‍ය යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය දුක් හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය සුව යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.