3. 10.
මාතෘකා කථා
නිච්ඡාත යැ මොක්ඛවිමෝක්ඛ යැ විජ්ජාවිමුත්ති යැ අධිසීල යැ අධිචිත්ත යැ අධිපඤ්ඤා යැ පස්සද්ධි යැ ඤාණ යැ දස්සන යැ විසුද්ධි යැ නෙක්ඛම්ම යැ නිස්සරණ යැ පවිවේක යැ වොස්සග්ග යැ චරියා යැ ඣානවිමොක්ඛ යැ භාවනා යැ අධිට්ඨානයැ ජීවිත යි.
නිච්ඡාතො යනු: නෛෂ්ක්‍රම්‍ය විසින් කාමච්ඡන්‍දයෙන් නො මලා වූයේ, අව්‍යාපාද විසින් ව්‍යාපාදයෙන් නො මලා වූයේ ... ප්‍රථමධ්‍යාන විසින් නීවරණයන්ගෙන් නො මලා වූයේ ... රහත්මඟ විසින් සර්‍වක්ලේශයන්ගෙන් නො මලා වූයේ වේ.
මොක්ඛො විමොක්ඛො යනු: නෛෂ්ක්‍රම්‍ය විසින් කාමච්ඡන්‍දය කෙරෙන් මිදේ නුයි මෝක්‍ෂ විමෝක්‍ෂ යැ, අව්‍යාපාද විසින් ව්‍යාපාදය කෙරෙන් මිදේ නුයි මෝක්‍ෂ විමෝක්‍ෂ යැ ... ප්‍රථමධ්‍යාන විසින් නීවරණයන් කෙරෙන් මිදේ නුයි මෝක්‍ෂ විමෝක්‍ෂ යැ ... අර්‍හත්ත්‍වමාර්‍ග විසින් සර්‍වක්ලේශයන් කෙරෙන් මිදේ නුයි මෝක්‍ෂ විමෝක්‍ෂ යි.
විජ්ජාවිමුත්ති යනු: නෛෂ්ක්‍රම්‍ය විද්‍යමාන වේ නුයි (නොහොත් දන්නා ලැබේ නුයි, ලබානුයි හෝ) විජ්ජා යැ, කාමච්ඡන්‍දය කෙරෙන් මිදේනුයි විමුත්ති යැ, විද්‍යමාන වූයේ මිදෙයි, මිදෙනුයි විද්‍යමාන වේ නුයි විජ්ජාවිමුත්ති යැ. අව්‍යාපාදය ඇත් නුයි විජ්ජා යැ, ව්‍යාපාදය කෙරෙන් මුක්ත වේ නුයි විමුත්ති යැ, විද්‍යමාන වූයේ මුක්ත වෙයි, මුක්ත වනුයේ විද්‍යමාන වේ නුයි විජ්ජාවිමුත්ති යැ ... අර්‍හත්ත්‍වමාර්‍ගය විද්‍යමාන වේ නුයි විජ්ජා යැ, සර්‍වක්ලේශයන් කෙරෙන් මුක්ත වේ නුයි විමුත්ති යැ, විද්‍යමාන වූයේ මුක්ත වෙයි, මුක්ත වනුයේ (රහත්මඟ) විද්‍යමාන වේ නුයි විජ්ජාවිමුත්ති නම් වන්නීය.
අධිසීලං අධිචිත්තං අධිපඤ්ඤා යනු: නෛෂ්ක්‍රම්‍ය විසින් කාමච්ඡන්‍දය නිවාරණාර්‍ත්‍ථයෙන් (ඒ නෛෂ්ක්‍රම්‍යය) ශීලවිශුද්ධි යැ, (එ මැ) අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධි යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධි යැ. එහි යම් සංවරාර්‍ත්‍ථයෙක් වේ ද, මේ තෙම අධිශීලශික්‍ෂා යැ, එහි යම් අවික්‍ෂේපාර්‍ත්‍ථයෙක් වේ ද, මේ තෙම අධිචිත්තශික්‍ෂා යැ, එහි යම් දර්‍ශනාර්‍ත්‍ථයෙක් වේ ද, මේ තෙම අධිප්‍රඥාශික්‍ෂා යි. අව්‍යාපාද විසින් ව්‍යාපාදය නිවාරණාර්‍ත්‍ථයෙන් (ඒ අව්‍යාපාදය ) ශීලවිශුද්ධි යැ ... අර්‍හත්ත්‍වමාර්‍ග විසින් සර්‍වක්ලේශයන් නිවාරණාර්‍ත්‍ථයෙන් (ඒ රහත් මඟ) ශීලවිශුද්ධි යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධ යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධි යැ, එහි යම් සංවරාර්‍ත්‍ථයෙක් වේ ද, මේ අධිශීලශික්‍ෂා යැ, එහි යම් අවික්‍ෂේපාර්‍ත්‍ථයෙක් වේ ද, මේ අධිචිත්තශික්‍ෂා යැ. එහි යම් දර්‍ශනාර්‍ත්‍ථයෙක් වේ ද, මේ අධිප්‍රඥාශික්‍ෂා යි.
පස්සද්ධි යනු: නෛෂ්ක්‍රම්‍ය විසින් (යෝගාවචර තෙම) කාමච්ඡන්‍දය වළහයි, අව්‍යාපාද විසින් ව්‍යාපාදය වළහයි .... රහත්මඟින් සර්‍වක්ලේශයන් වළහයි.
ඤාණං යනු: කාමච්ඡන්‍දය ප්‍රහීණ බැවින් නෛෂ්ක්‍රම්‍යය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ව්‍යාපාදය ප්‍රහීණ බැවින් අව්‍යාපාදය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ... සර්‍වක්ලේශයන් ප්‍රහීණ බැවින් අර්‍හත්ත්‍වමාර්‍ගය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යි.
දස්සනං යනු: කාමච්ඡන්‍දය ප්‍රහීණ බැවින් නෛෂ්ක්‍රම්‍ය තෙම දෘෂ්ටාර්‍ත්‍ථයෙන් දර්‍ශන යැ, ව්‍යාපාදය ප්‍රහීණ බැවින් අව්‍යාපාද තෙම දෘෂ්ටාර්‍ත්‍ථයෙන් දර්‍ශන යැ .. සර්‍වක්ලේශයන් ප්‍රහීණ බැවින් රහත්මඟ දෘෂ්ටාර්‍ත්‍ථයෙන් දර්‍ශන යි.
විසුද්ධි යනු: කාමච්ඡන්‍දය දුරලනුයේ නෛෂ්ක්‍රම්‍යයෙන් විශුද්ධ වෙයි, ව්‍යාපාදය දුරලනුයේ අව්‍යාපාදයෙන් විශුද්ධ වෙයි ... සර්‍වක්ලේශයන් දුරලනුයේ රහත්මඟින් විශුද්ධ වේ.
නෙක්ඛම්මං යනු: යම් නෛෂ්ක්‍රම්‍යයෙක් වේ ද, තෙල කාමයන්ගේ නිස්සරණ යැ, යම් ආරූප්‍යයෙක් වේ ද, තෙල රූපයන් ගේ නිස්සරණ යැ, තවද යම් කිසි උත්පන්න වූ සංස්කෘත වූ ප්‍රතීත්‍යසමුත්පන්නයෙක් වේ ද, නිරෝධය ඒ සඞඛතයා ගේ නෛෂ්ක්‍රම්‍ය වේ. අව්‍යාපාදයා ව්‍යාපාදයා ගේ නෛෂ්ක්‍රම්‍ය වෙයි, ආලෝකසංඥාව ථිනමිද්ධයා ගේ නෛෂ්ක්‍රම්‍ය වෙයි ... අර්‍හත්ත්‍වමාර්‍ගය සර්‍වක්ලේශයන් ගේ නෛෂ්ක්‍රම්‍ය වේ.
නිස්සරණං යනු: යම් නෛෂ්ක්‍රම්‍යයෙක් වේ ද, තෙල කාමයන් ගේ නිස්සරණ යැ, යම් ආරූප්‍යයෙක් වේ ද, තෙල රූපයන් ගේ නිස්සරණ යැ, තවද යම් කිසි උත්පන්න වූ සඞ්ඛත වූ ප්‍රතීත්‍යසමුත්පන්නයෙක් වේ ද, නිරෝධය ඒ සඞ්ඛතයා ගේ නිස්සරණය වෙයි, නෛෂ්ක්‍රම්‍යය කාමච්ඡන්‍දයා ගේ නිස්සරණය යැ, අව්‍යාපාදය ව්‍යාපාදයා ගේ නිස්සරණ යැ ... අර්‍හත්ත්‍වමාර්‍ගය සර්‍වක්ලේශයන් ගේ නිස්සරණ යි.
පවිවේකො යනු: නෛෂ්ක්‍රම්‍ය කාමච්ඡන්‍දයා ගේ පවිවේක යැ ... අර්‍හත්ත්‍වමාර්‍ගය සර්‍වක්ලේශයන් ගේ පවිවේක යයි.
වොස්සග්ගෝ යනු: නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය හැරපියා නුයි වොස්සග්ග යැ, අවය්‍යාපාදයෙන් ව්‍යාපාදය හැරපියා නුයි වොස්සග්ග නම ... රහත්මගින් හැම කෙලෙසුන් හැරපියා නුයි වොස්සග්ග නමි.
චරියා යනු: කාමච්ඡන්‍දය දුරලනුයේ නෛෂ්ක්‍රම්‍යයෙන් හැසිරෙයි, ව්‍යාපාදය දුරලනුයේ අව්‍යාපාදයෙන් හැසිරෙයි. රහත්මගින් හැම කෙලෙසුන් දුරලමින් හැසිරෙයි.
ඣානවිමොක්ඛො යනු: නෛෂ්ක්‍රම්‍යය ධ්‍යාන කරනු ලැබේ නුයි ධ්‍යාන යැ, කාමච්ඡන්‍දය දවා නුයි ධ්‍යාන යැ, ධ්‍යාන කෙරෙමින් මිදේ නුයි ඣානවිමොක්ඛ නම, දවමින් මිදේ නුයි ඣානවිමොක්ඛ නමි, ‘ඣායන්ති’ යනු දහම්හු යැ, ‘ඣාපෙන්ති’ යනු කෙලෙසුන් යැ, ධ්‍යාන කරන ලදුවන් ද දවන ලදුවන් ද දනී නුයි ඣානඣායී නම. අව්‍යාපාදය ධ්‍යාන කරනු ලැබේ නුයි ධ්‍යාන යැ, ව්‍යාපාදය දවා නුයි ධ්‍යාන යැ ... ආලෝකසංඥාව ධ්‍යාන කරනු ලැබේ නුයි ධ්‍යාන යැ, ථිනමිද්ධය දවා නුයි ධ්‍යාන යැ ... රහත්මග ධ්‍යාන කරනු ලැබේ නුයි ධ්‍යාන යැ, හැම කෙලෙසුන් දවා නුයි ධ්‍යාන යැ, ධ්‍යාන කෙරෙමින් මිදේ නුයි ඣානවිමොක්ඛ යැ, දවමින් මිදේ නුයි ඣානවිමොක්ඛ යැ, ‘ඣායන්ති’ යනු ධර්‍මයෝ යැ, ‘ඣාපෙන්ති’ යනු කෙලෙසුන් යැ, ධ්‍යාන කරන ලදුවන් ද දවන ලදුවන් ද දනි නුයි ‘ඣානඣායී’ නම් වේ.