3. 8.
සතිපට්ඨාන කථා
[සැවැත්නිදාන යි]
“මහණෙනි, මේ සතිපට්ඨානයෝ සතර දෙනෙක් වෙති: කවර සතර දෙනෙකැ යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ සිහි ඇති වැ කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍යයන් දුරු කොට කයෙහි කය අනුව බලනසුලු වැ වාසය කෙරෙයි. වේදනාවන්හි .. චිත්තයෙහි ... කෙලෙස් තවන වැර ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ සිහි ඇති වැ ධර්‍ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍යයන් දුරු කොට ධර්‍මයන්හි ධර්‍මයන් අනු වැ බලනසුලු වැ වාසය කෙරේ. මහණෙනි, මොහු සතර සතිපට්ඨානයෝ” යි.
කිසෙයින් කයෙහි කය අනු වැ බලනසුලු වැ වාසය කෙරේ ද යත්: මෙසස්නෙහි ඇතැමෙක් පඨවීධාතුකාය (පඨවිධාතු සමූහය) අනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ යැ, නිත්‍ය හෙයින් නො දක්නේ යැ, දුඃඛ හෙයින් පුනපුනා දක්නේ යැ, සුඛ හෙයින් නො දක්නේ යැ, අනාත්ම හෙයින් පුනපුනා දක්නේ යැ, ආත්ම හෙයින් නො දක්නේ යැ, කලකිරෙයි, සතුටු නො වෙයි, විරක්ත වෙයි, නො ඇලෙයි, නිරුද්ධ කෙරෙයි, සමුදය නො කෙරෙයි, හැරපියයි නො ගනියි, අනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි, දුඃඛ හෙයින් පුනපුනා දක්නේ සුඛ සංඥාව දුරු කෙරෙයි, අනාත්ම හෙයින් පුනපුනා දක්නේ ආත්ම සංඥාව දුරු කෙරෙයි, කලකිරෙනුයේ නන්‍දිය දුරු කෙරෙයි, නො ඇලෙනුයේ රාගය දුරු කෙරෙයි, නිරුද්ධ කෙරනුයේ සමුදය දුරු කෙරෙයි, හැරපියනුයේ ආදානය දුරු කෙරේ. මේ සත් අයුරින් කය පුනපුනා දක්නේ යි. කය උපස්ථාන යැ ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ කය පුනපුනා දක්නේ යි. එයින් කියනු ලැබෙයි: ‘කායේකායානුපස්සනා සතිපට්ඨානා’යි.
භාවනා යනු: භාවනා සතරෙක. ඒ භාවනා විශේෂයෙහි උපන් යුගනද්ධධර්‍මයන් (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා අර්‍ත්‍ථයෙන් භාවනා යැ, ඉන්‍ද්‍රියයන්ගෙන් ඒකකෘත්‍යාර්‍ත්‍ථයෙන් භාවනා යැ, තදනුකූලවීර්‍ය්‍යධුරාර්‍ත්‍ථයෙන් භාවනා යැ, ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි.
මෙසස්නෙහි ඇතැමෙක් ආපෝකාය ... තේජෝකාය ... වායෝකාය ... කේසකාය ... ලෝමකාය ... ඡවිකාය ... චම්මකාය ... මංසකාය ... රුධිරකාය ... නහාරුකාය ... අට්ඨිකාය ... අට්ඨිමිඤ්ජකාය ... අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කෙරෙයි නිත්‍ය හෙයින් නො කෙරෙයි, දුඃඛ හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, සුඛ හෙයින් නො කෙරෙයි, අනාත්ම හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, ආත්ම හෙයින් නො කෙරෙයි, කලකිරෙයි සතුටු නො වෙයි, විරක්ත වෙයි නො ඇලෙයි, නිරුද්ධ කෙරෙයි, සමුදය නො කෙරෙයි, හැරපියයි නො ගනී, අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කරනුයේ නිත්‍ය සංඥාව දුරු කෙරෙයි, දුඃඛ හෙයින් අනුදර්‍ශනා කරනුයේ සුඛසංඥාව දුරු කෙරෙයි, අනාත්ම හෙයින් අනුදර්‍ශනා කරනුයේ ආත්ම සංඥාව දුරු කෙරෙයි, කලකිරෙනුයේ නන්‍දිය දුරු කෙරෙයි, නො ඇලෙනුයේ රාගය දුරු කෙරෙයි, නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරෙයි, පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරේ. මේ සත් අයුරින් කය අනුදර්‍ශනා කෙරේ. කය උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ කය අනුදර්‍ශනා කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘කායේකායානුපස්සනා සතිපට්ඨානා’යි.
භාවනා යනු: භාවනා සතරෙක. ඒ භාවනාවිශේෂයෙහි උපන් (යුගනද්ධ ) ධර්‍මයන් (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා අර්‍ත්‍ථයෙන් භාවනා යැ, ඉන්‍ද්‍රියන්ගෙන් ඒකකෘත්‍යස්වභාවයෙන් භාවනා වැ, තදනුරූපවීර්‍ය්‍යධුරාර්‍ත්‍ථයෙන් භාවනා යැ, ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි. මෙසෙයින් කයෙහි කායානුදර්ශී වැ වාසය කෙරේ.
කිසෙයින් වේදනාවන්හි වේදනානුදර්ශී වැ වාසය කෙරේ යැ යත්: මෙසස්නෙහි ඇතැමෙක් සුඛවේදනාව අනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ යැ නිත්‍ය හෙයින් නො දක්නේ යැ ... හැරපියයි නොගනී, අනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි ... පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරෙයි. මේ සත් අයුරින් වේදනාව අනුදර්‍ශනා කෙරේ. වේදනාව උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ වේදනාව අනුදර්‍ශනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘වේදනාසු වේදනානුපස්සනා සතිපට්ඨානා’යි.
භාවනා යනු: භාවනා සතරෙක: ... ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි ... මෙසස්නෙහි ඇතැමෙක් දුක් වේදනාව ... නො දුක් නොසුව වේදනාව ... සාමිෂ වූ සුඛවේදනාව ... නිරාමිෂ වූ සුඛවේදනාව ... සාමිෂ වූ දුඃඛ වේදනාව ... නිරාමිෂ වූ දුඃඛ වේදනාව ... සාමිෂ වූ අදුක්ඛමසුඛවේදනාව ... නිරාමිෂ වූ අදුක්ඛමසුඛවේදනාව ... චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව ... සෝතසම්ඵස්සයෙන් උපන් වේදනාව .... ඝානසම්ඵස්සයෙන් උපන් වේදනාව .... ජීව්හාසම්පස්සයෙන් උපන් වේදනාව .... කායසම්ඵස්සයෙන් උපන් වේදනාව .... මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කෙරෙයි නිත්‍ය හෙයින් නො කෙරෙයි. ... හැරපියයි නො ගනී. අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි ... පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරේ. මේ සත් අයුරින් වේදනාව අනුදර්‍ශනා කෙරේ. වේදනාව උපස්ථාන වෙයි ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ වේදනාව අනුදර්‍ශනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘වේදනාසු වේදනානුපස්සනා සතිපට්ඨානා’යි.
භාවනා යනු: භාවනා සතරෙක ... මෙසෙයින් වේදනාවන්හි වේදනානුදර්ශී වැ වාසය කෙරේ.
කිසෙයින් චිත්තයෙහි චිත්තානුදර්ශී වැ වාසය කෙරේ යැ යත්: මෙසස්නෙහි අතැමෙක් සරාග සිත අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කෙරෙයි නිත්‍ය හෙයින් නො කෙරෙයි. ... පටිනිස්සජනය කෙරෙයි ආදානය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කරනුයේ නිත්‍ය සංඥාව දුරු කෙරෙයි ... පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරෙයි. මේ සත් අයුරින් චිත්තය අනුදර්‍ශනා කෙරේ. චිත්තය උපස්ථාන වෙයි ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ සිත අනුදර්‍ශනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘චිත්තේ චිත්තානුපස්සනා සතිපට්ඨානා’යි.