3. 7.
සමසීසි කථා
සියලු (ත්රෛභූමක) ධර්මයන් මොනොවට නිරුද්ධ කිරීමෙහි ද නිරුද්ධ කළ කල්හි යළි නො ඉපදීමෙහි ද ප්රඥාව ශමශීර්ෂාර්ත්ථඥාන නමි.
සබ්බධම්මානං යනු: පඤ්චස්කන්ධ යැ දොළොස් ආයතන යැ අටළොස් ධාතු යැ කුශලධර්ම යැ අකුශලධර්ම යැ අව්යාකෘත ධර්ම යැ කාමාවචරධර්ම යැ රූපාවචරධර්ම යැ අරූපාවචරධර්ම යැ අපර්ය්යාපන්නධර්ම යි.
සම්මාසමුච්ඡේද යනු: නෛෂ්ක්රම්යයෙන් කාමච්ඡන්දය මොනොවට සමුච්ඡේද (මුලුසුන්) කෙරෙයි, අව්යාපාදයෙන් ව්යාපාදය මොනොවට සමුච්ඡේද කෙරෙයි, ආලෝකසංඥායෙන් ථිනමිද්ධය මොනොවට සමුච්ඡේද කෙරෙයි, අවික්ෂෙපයෙන් ඖද්ධත්යය මොනොවට සමුච්ඡේද කෙරෙයි, ධර්මනිශ්චයෙන් විචිකිත්සාව මොනොවට සමුච්ඡේද කෙරෙයි, ඥානයෙන් අවිද්යාව මොනොවට සමුච්ඡේද කෙරෙයි, ප්රාමෝද්යයෙන් අරතිය මොනොවට සමුච්ඡේද කෙරෙයි, ප්රථමධ්යානයෙන් නීවරණයන් මොනොවට සමුච්ඡේද කෙරෙයි ... රහත්මගින් හැම කෙලෙසුන් මොනොවට සමුච්ඡේද කෙරෙයි.
නිරොධෙ යනු: නෛෂ්ක්රම්යයෙන් කාමච්ඡන්දය නිරුද්ධ කෙරෙයි, අව්යාපාදයෙන් ව්යාපාදය නිරුද්ධ කෙරෙයි, ආලෝකසංඥායෙන් ථිනමිද්ධය නිරුද්ධ කෙරෙයි, අවික්ෂෙපයෙන් ඖද්ධත්යය නිරුද්ධ කෙරෙයි, ධර්මනිශ්චයෙන් විචිකිත්සාව නිරුද්ධ කෙරෙයි, ඥානයෙන් අවිද්යාව නිරුද්ධ කෙරෙයි, ප්රාමෝද්යයෙන් අරතිය නිරුද්ධ කෙරෙයි, ප්රථමධ්යානයෙන් නීවරණයන් නිරුද්ධ කෙරෙයි ... රහත්මගින් හැම කෙලෙසුන් මොනොවට නිරුද්ධ කෙරේ.
අනුපට්ඨානතා යනු: නෛෂ්ක්රම්යය ලදුවහුට කාමච්ඡන්දය නූපදී (නො එළඹෙයි), අව්යාපාදය ලදුවහුට ව්යාපාදය නූපදී, ආලෝකසංඥා ලදුවහුට ථිනමිද්ධය නූපදී, අවික්ෂේපය ලදුවහුට ඖද්ධත්යය නූපදී, ධර්මනිශ්චය ලදුවහුට විචිකිත්සාව නූපදී, ඥානය ලදුවහුට අවිද්යාව නූපදී, ප්රාමෝද්යය ලදුවහුට අරතිය නූපදී, ප්රථමධ්යානය ලදුවහුට නීවරණයන් නූපදී ... රහත්මග ලදුවහුට හැම කෙලෙස්හු නූපදිත්.
සමං යනු: කාමච්ඡන්දය පුහුන් (ප්රහීණ) බැවින් නෛෂ්ක්රම්යය ශම යැ, ව්යාපාදය පුහුන් බැවින් අව්යාපාදය ශම යැ, ථිනමිද්ධය පුහුන් බැවින් ආලෝකසංඥාව ශම යැ, ඖද්ධත්යය පුහුන් බැවින් අවික්ෂේපය ශම යැ, විචිකිත්සාව පුහුන් බැවින් ධර්මනිශ්චය ශම යැ, අවිද්යාව පුහුන් බැවින් ඥානය ශම යැ, අරතිය පුහුන් බැවින් ප්රාමෝද්යය ශම යැ, නීවරණයන් පුහුන් බැවින් ප්රථමධ්යානය ශම යැ ... හැම කෙලෙසුන් පුහුන් බැවින් රහත්මග ශම යි.
සීසං යනු: තෙළෙස් ශීර්ෂයෝ යැ: තෘෂ්ණාව පරිරෝධශීර්ෂ ද මානය විනිබන්ධශීර්ෂ ද දෘෂ්ටිය පරාමර්ශශීර්ෂ ද ඖද්ධත්යය වික්ෂේපශීර්ෂ ද අවිද්යාව සංක්ලේශශීර්ෂ ද ශ්රද්ධාව අධිමොක්ෂශීර්ෂ ද වීර්ය්යය ප්රග්රහශීර්ෂ ද ස්මෘතිය උපස්ථානශීර්ෂ ද සමාධිය අවික්ෂේපශීර්ෂ ද ප්රඥාව දර්ශනශීර්ෂ ද ජීවිතේන්ද්රිය ප්රවෘත්තිශීර්ෂ ද විමෝක්ෂය ගෝචරශීර්ෂ ද නිරෝධය සංස්කාරශීර්ෂ ද වේ යයි.
සමසීසි කථා නිමි.
3. 8.
සතිපට්ඨාන කථා
[සැවැත්නිදාන යි]
“මහණෙනි, මේ සතිපට්ඨානයෝ සතර දෙනෙක් වෙති: කවර සතර දෙනෙකැ යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇති වැ සම්යග්ඥාන ඇති වැ සිහි ඇති වැ කාය සඞ්ඛ්යාත ලෝකයෙහි අභිධ්යාදෞර්මනස්යයන් දුරු කොට කයෙහි කය අනුව බලනසුලු වැ වාසය කෙරෙයි. වේදනාවන්හි .. චිත්තයෙහි ... කෙලෙස් තවන වැර ඇති වැ සම්යග්ඥාන ඇති වැ සිහි ඇති වැ ධර්ම සඞ්ඛ්යාත ලෝකයෙහි අභිධ්යාදෞර්මනස්යයන් දුරු කොට ධර්මයන්හි ධර්මයන් අනු වැ බලනසුලු වැ වාසය කෙරේ. මහණෙනි, මොහු සතර සතිපට්ඨානයෝ” යි.
කිසෙයින් කයෙහි කය අනු වැ බලනසුලු වැ වාසය කෙරේ ද යත්: මෙසස්නෙහි ඇතැමෙක් පඨවීධාතුකාය (පඨවිධාතු සමූහය) අනිත්ය හෙයින් පුනපුනා දක්නේ යැ, නිත්ය හෙයින් නො දක්නේ යැ, දුඃඛ හෙයින් පුනපුනා දක්නේ යැ, සුඛ හෙයින් නො දක්නේ යැ, අනාත්ම හෙයින් පුනපුනා දක්නේ යැ, ආත්ම හෙයින් නො දක්නේ යැ, කලකිරෙයි, සතුටු නො වෙයි, විරක්ත වෙයි, නො ඇලෙයි, නිරුද්ධ කෙරෙයි, සමුදය නො කෙරෙයි, හැරපියයි නො ගනියි, අනිත්ය හෙයින් පුනපුනා දක්නේ නිත්යසංඥාව දුරු කෙරෙයි, දුඃඛ හෙයින් පුනපුනා දක්නේ සුඛ සංඥාව දුරු කෙරෙයි, අනාත්ම හෙයින් පුනපුනා දක්නේ ආත්ම සංඥාව දුරු කෙරෙයි, කලකිරෙනුයේ නන්දිය දුරු කෙරෙයි, නො ඇලෙනුයේ රාගය දුරු කෙරෙයි, නිරුද්ධ කෙරනුයේ සමුදය දුරු කෙරෙයි, හැරපියනුයේ ආදානය දුරු කෙරේ. මේ සත් අයුරින් කය පුනපුනා දක්නේ යි. කය උපස්ථාන යැ ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ කය පුනපුනා දක්නේ යි. එයින් කියනු ලැබෙයි: ‘කායේකායානුපස්සනා සතිපට්ඨානා’යි.
භාවනා යනු: භාවනා සතරෙක. ඒ භාවනා විශේෂයෙහි උපන් යුගනද්ධධර්මයන් (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා අර්ත්ථයෙන් භාවනා යැ, ඉන්ද්රියයන්ගෙන් ඒකකෘත්යාර්ත්ථයෙන් භාවනා යැ, තදනුකූලවීර්ය්යධුරාර්ත්ථයෙන් භාවනා යැ, ආසේවනාර්ත්ථයෙන් භාවනා යි.
මෙසස්නෙහි ඇතැමෙක් ආපෝකාය ... තේජෝකාය ... වායෝකාය ... කේසකාය ... ලෝමකාය ... ඡවිකාය ... චම්මකාය ... මංසකාය ... රුධිරකාය ... නහාරුකාය ... අට්ඨිකාය ... අට්ඨිමිඤ්ජකාය ... අනිත්ය හෙයින් අනුදර්ශනා කෙරෙයි නිත්ය හෙයින් නො කෙරෙයි, දුඃඛ හෙයින් අනුදර්ශනා කෙරෙයි, සුඛ හෙයින් නො කෙරෙයි, අනාත්ම හෙයින් අනුදර්ශනා කෙරෙයි, ආත්ම හෙයින් නො කෙරෙයි, කලකිරෙයි සතුටු නො වෙයි, විරක්ත වෙයි නො ඇලෙයි, නිරුද්ධ කෙරෙයි, සමුදය නො කෙරෙයි, හැරපියයි නො ගනී, අනිත්ය හෙයින් අනුදර්ශනා කරනුයේ නිත්ය සංඥාව දුරු කෙරෙයි, දුඃඛ හෙයින් අනුදර්ශනා කරනුයේ සුඛසංඥාව දුරු කෙරෙයි, අනාත්ම හෙයින් අනුදර්ශනා කරනුයේ ආත්ම සංඥාව දුරු කෙරෙයි, කලකිරෙනුයේ නන්දිය දුරු කෙරෙයි, නො ඇලෙනුයේ රාගය දුරු කෙරෙයි, නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරෙයි, පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරේ. මේ සත් අයුරින් කය අනුදර්ශනා කෙරේ. කය උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ කය අනුදර්ශනා කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘කායේකායානුපස්සනා සතිපට්ඨානා’යි.