3. 5.
චරියා කථා
චරියා යනු: චර්‍ය්‍යා අටෙකි. ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යා යැ ආයතනචර්‍ය්‍යා යැ ස්මෘතිචර්‍ය්‍යා යැ සමාධිචර්‍ය්‍යා යැ ඥානචර්‍ය්‍යා යැ මාර්‍ගචර්‍ය්‍යා යැ ප්‍රාප්ති (ඵල) චර්‍ය්‍යා යැ ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යා යැ යි
ඉරියාපථචරියා යනු: සතර ඉරියව්හි යැ.
ආයතනචරියා යනු: ආධ්‍යාත්මිකබාහිර ෂඩායතනයෙහි යැ.
සතිචරියා යනු: සතර සතිපට්ඨානයෙහි යැ.
සමාධිචරියා යනු: සතර ධ්‍යානයෙහි යැ.
ඤාණචරියා යනු: සතර ආර්‍ය්‍යසත්‍යයෙහි යැ.
මග්ගචරියා යනු: සතර ආර්‍ය්‍යමාර්‍ගයෙහි යැ.
පත්තිචරියා යනු: සතර ශ්‍රාමණ්‍යඵලයෙහි යැ.
ලෝකත්‍ථචරියා යනු: තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් කෙරෙහි යැ. එක්දෙසෙකැ ප්‍රත්‍යෙකබුද්ධයන් කෙරෙහි යැ, එක්දෙසෙකැ ශ්‍රාවකයන් කෙරෙහි යි.
ප්‍රණිධිසම්පන්නයනට (සන්හුන් ඉරියව් ඇතියනට) ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යා ද ඉඳුරන්හි වසනලද දොර ඇතියනට ආයතනචර්‍ය්‍යා ද අප්‍රමාදවිහාර ඇතියනට ස්මෘතිචර්‍ය්‍යා ද සමාධියෙහි යෙදුණවුන්ට සමාධිචර්‍ය්‍යා ද බුදධිසම්පන්නයනට ඥානචර්‍ය්‍යා ද සම්‍යක්ප්‍රතිපන්නයනට මාර්‍ගචර්‍ය්‍යා ද පැමිණි ඵල ඇතියනට ප්‍රාප්තිචර්‍ය්‍යා ද තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයනට, ප්‍රත්‍යෙකබුද්ධයනට එකදේශයෙක්හි ශ්‍රාවකයනට එකදේශයෙක්හි ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යා ද වේ. මොහු අෂ්ඨචර්‍ය්‍යා යි.
අන්‍ය වූ ද චර්‍ය්‍යා අටෙකි: අධිමෝක්‍ෂ කරනුයේ ශ්‍රද්ධා වශයෙන් පවති, ප්‍රග්‍රහ කරනුයේ වීර්‍ය්‍ය වශයෙන් පවති, අරමුණෙහි සිහි එළවා තබනුයේ ස්මෘති වශයෙන් පවති, අවික්‍ෂේප කරනුයේ සමාධි වශයෙන් පවති, ප්‍රකාරයෙන් දන්නේ, ප්‍රඥා වශයෙන් පවති, විජානනය කරනුයේ විඥානචර්‍ය්‍යා වශයෙන් පවති, මෙසෙයින් (ඉන්‍ද්‍රීයචර්‍ය්‍යායෙහි) පිළිපන්නහුට (ශමථවිදර්‍ශනා විසින් පැවැති) කුශලධර්‍මයෝ අත්‍යර්‍ත්‍ථයෙන් පවතිත් නු’යි ආයතනචර්‍ය්‍යා වශයෙන් පවති. මෙසෙයින් පිළිපන්නේ (විෂ්කමහණාදී) විශේෂයට පැමිණේ නු’යි විශේෂචර්‍ය්‍යා වශයෙන් පවති. මොහු අෂ්ටචර්‍ය්‍යාවෝයි.
අන්‍ය වූ ද චර්‍ය්‍යා අටෙකි: සම්‍යග්දෘෂ්ටියට දර්‍ශණචර්‍ය්‍යා ද සම්‍යක්සංකල්පයට අභිනිරෝපණචර්‍ය්‍යාද සම්‍යග්වචනයට පරිග්‍රහචර්‍ය්‍යා ද සම්‍යක්කර්‍මාන්තයට සමුත්‍ථානචර්‍ය්‍යා ද සම්‍යගාජීවයට ව්‍යවදානචර්‍ය්‍යා ද සම්‍යග්ව්‍යායාමයට ප්‍රග්‍රහචර්‍ය්‍යා ද සම්‍යක්ස්මෘතියට උපස්ථානචර්‍ය්‍යා ද සම්‍යක්සමාධියට අවික්‍ෂේපචර්‍ය්‍යා ද වෙයි. මොහු අෂ්ටචර්‍ය්‍යා වෙත් යයි.
චර්‍ය්‍යා කථා නිමි.
3. 6.
ප්‍රාතිහාර්‍ය්‍ය කථා
මහණෙනි, මේ තුන් ප්‍රාතිහාර්‍ය්‍ය කෙනෙක් වෙති: කවර තුන් ප්‍රාතිහාර්‍ය්‍ය කෙනෙකැ යත්: ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය යැ ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යැ යි.
මහණෙනි, ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය නම් කවරැ යත් : මහණෙනි, මෙසස්නෙහි ඇතැමෙක් අනේකප්‍රකාර වූ ඍද්ධිකොට්ඨාස වළඳ කෙරෙයි: (තෙමේ) එකලා වැ බහුප්‍රකාරයෙනුදු වෙයි, බහුප්‍රකාර වැ එකලා ද වෙයි. ආවිර්භාවයට තිරොභාවයට ... බඹලොව තෙක් මැ කයින් (තමන්) වශයෙහි පවත්වයි. මහණෙනි, මේ ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය යැ යි කියනු ලැබේ.
මහණෙනි, ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය නම් කවරෙ යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් නිමිතින් කියයි: ‘තා සිත (සොම්නස් දොම්නස් විසින්) මෙබඳුත් වෙයි, තා සිත මෙ අයුරුත් වෙයි, තා සිත මෙසේත් (මේ මේ දැය සිතමින් පවත්වන්නේත්) වේ’ යයි. හේ බොහෝ කොට ද කියයි, ඒ එසේ මැ වෙයි, අන් අයුරකින් නො වෙයි. තවද මහණෙනි, මෙලො වැ ඇතැමෙක් නිමිතින් නො මැ කියයි, එතෙකුදුවත් මනුෂ්‍යයන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ හඬ අසා කියයි: “තාසිත මෙබඳුත් වෙයි, තා සිත මෙ අයුරුත් වෙයි, තා සිත මෙසේත් වේ” යයි. හේ බොහෝ කොට ද කියයි, ඒ එසේ මැ වෙයි, අන් අයුරෙකින් නොවෙයි. තවද මහණෙනි, මෙලො වැ ඇතැමෙක් නිමිතින් නො මැ කියයි, මනුෂ්‍යයන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ හඬ අසා නො ද කියයි, එතෙකුදුවත් විතර්‍ක කරන්නහුගේ විතර්‍කසම්ප්‍රයුක්තවිචාර කරන්නහුගේ විතර්‍කවිෂ්ඵාරශබ්දය අසා කියයි: “තා සිත මෙබඳුත් වෙයි, තා සිත මෙ අයුරුත් වෙයි, තා සිත මෙසේත් වේ” යයි හේ බොහෝ කොට ද කියයි, ඒ එසේ මැ වෙයි. අන් අයුරකින් නො වෙයි. තවද මහණෙනි, මෙලො වැ ඇතැමෙක් නිමිතින් නො මැ කියයි, මනුෂ්‍යයන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හඬ අසා නො ද කියයි, විතර්‍ක කරන්නහුගේ විතර්‍කසම්ප්‍රයුක්තවිචාර කරන්නහුගේ විතර්‍කවිෂ්ඵාරශබ්දය අසා නො ද කියයි, එතෙකුදුවත් අවිතර්‍කඅවිචාරසමාධියට සමවන්හුගේ සිත (තම) සිතින් පිරිසිඳ දැනගනී, ‘මේ භවත්හුගේ චිත්තසංස්කාරයෝ යම්සෙයින් පිහිටියාහුද මෙසිතට අනතුරු වැ අසෝ නම් විතර්‍කය කරන්නේ යැ’ යි. හේ බොහෝ කොට ද කියයි, ඒ එසේ මැ වෙයි, අන් අයුරකින් නොවේ. මහණෙනි, මේ ‘ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය’ යි කියනු ලැබේ.
මහණෙනි, අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය නම් කවරෙ යත්: මහණෙනි, මෙ ලොවැ ඇතැමෙක් මෙසේ අනුශාසනා කෙරෙයි: “මෙසේ තකවු, නහමක් මෙසේ තකවු, මෙසේ මෙනෙහි කරවු, නහමක් මෙසේ මෙනෙහි කරවු, මෙය දුරු කරවු, මෙයට පැමිණ වාස කරවු” යයි. මහණෙනි, මේ ‘අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය’ යයි කියනු ලැබේ. මහණෙනි, මොහු තුන් ප්‍රාතිහාර්‍ය්‍යයෝ යි.
නෛෂ්ක්‍රම්‍යය තෙමේ සිද්ධ වේ නු’ යි ඍද්ධි යැ, කාමච්ඡන්‍දය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ. යම් කෙනෙක් ඒ නෛෂ්ක්‍රම්‍යයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැලඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ. ඒ නෛෂ්ක්‍රම්‍යය වනාහි මෙසේ ආසේවන කළයුතු යැ, මෙසේ භාවනාකළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ නෛෂ්ක්‍රම්‍යයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’ යි අනුශාසනීයප්‍රාතිහාර්‍ය්‍ය යි.