3. 2.
ඍද්ධි කථා
ඍද්ධි කවර යැ, ඍද්ධිහු කෙතෙක් ද, ඍද්ධියට භූමීහු කෙතෙක් ද, පාදයෝ කෙතෙක් ද, පදයෝ කෙතෙක් ද, මූලයෝ කෙතෙක් ද යත්:
කා ඉද්ධි යනු: සමෘද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි යැ.
කති ඉද්ධියො යනු: ඍද්ධිහු දස දෙනෙක.
ඉද්ධියා කති භූමියො යනු: ඍද්ධියට භූමි සතරෙක. පාද සතෙරක. පද අටෙක මූල සොළොසෙකි.
දශඍද්ධිහු නම් කවරහ යත්: අධිෂ්ඨාන ඍද්ධි යැ විකුර්‍වණඍද්ධි යැ මනෝමය ඍද්ධි යැ ඥානවිෂ්ඵාර ඍද්ධි යැ සමාධිවිෂ්ඵාරඍද්ධි යැ ආර්‍ය්‍යසෘද්ධි යැ කර්‍මවිපාකජඍද්ධි යැ පුණ්‍යවත්හුගේ ඍද්ධි යැ විද්‍යාමයසෘද්ධි යැ ඒ ඒ ධර්‍මයෙහි සම්‍යක්ප්‍රයෝගප්‍රත්‍යයෙන් සමෘද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි යි.
ඍද්ධියට සතරභුමිහු කවරහ යත්: ප්‍රථමධ්‍යානය විවේකජභූමි යැ, ද්විතීයධ්‍යානය ප්‍රීතිසුඛභූමි යැ, තෘතීයධ්‍යානය උපේක්‍ෂාසුඛභූමි යැ, චතුර්‍ත්‍ථධ්‍යානය අදුක්ඛමසුඛභූමි යැ, මේ සතරභූමිහු ඍද්ධිලාභ පිණිස සෘද්ධිප්‍රතිලාභ පිණිස ඍද්ධිවිකුර්‍වණතා පිණිස ඍද්ධිවිශේෂ පවත්වන බවට සෘද්ධිවශීභාවය පිණිස ඍද්ධිවෛශාරද්‍ය පිණිස පවතිත් යයි.
ඍද්ධියට සතර පාදයෝ කවරහ යත්: මෙ සස්නෙහි මහණ තෙම ඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් හා ප්‍රධානසංස්කාරයෙන් (සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන්) සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි, චිත්තාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි, විර්‍ය්‍යාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි, විමංසාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි. ඍද්ධිය පිළිබඳ මේ සතර පාදයෝ ඍද්ධිලාභ පිණිස සෘද්ධිප්‍රතිලාභ පිණිස ඍද්ධිවිකුර්‍වණතා පිණිස ඍද්ධිවිශේෂ පවත්වන පිණිස සෘද්ධිවශීභාව පිණිස සෘද්ධිවිශාරද බව පිණිස පවතිත් යයි.
ඍද්ධියට අටපද කවරහ යත්: ඉදින් මහණ තෙම ඡන්‍දය නිසා සමාධිය ලබා නම් චිත්තෛකාග්‍රතාවය ලබා නම් ඒ ඡන්‍දය සමාධි නො වෙයි, සමාධිය ඡන්‍ද නො වෙයි. ඡන්‍දය අනෙකෙක, සමාධිය අනෙකෙකි. ඉදින් මහණ තෙම චිත්තය නිසා සමාධිය ලබා නම්, චිත්තෛකාග්‍රතාවය ලබා නම්, ඒ චිත්තය සමාධි නො වෙයි, සමාධිය චිත්ත නොවෙයි, චිත්තය අනෙකෙක, සමාධිය අනෙකෙකි. ඉදින් මහණ තෙම වීර්‍ය්‍යය නිසා සමාධිය ලබා නම් චිත්තෛකාග්‍රතාවය ලබා නම් ඒ වීර්‍ය්‍යය සමාධි නො වෙයි, සමාධිය වීර්‍ය්‍ය නො වෙයි, වීර්‍ය්‍යය අනෙකෙක, සමාධිය අනෙකෙකි. ඉදින් මහණ තෙම වීමංසාව නිසා සමාධිය ලබා නම්, චිත්තෛකාග්‍රතාවය ලබා නම්, ඒ වීමංසාව සමාධි නො වෙයි, සමාධිය විමංසා නො වෙයි, වීමංසාව අනෙකෙක, සමාධිය අනෙකෙකි. ඍද්ධිය පිළිබඳ මේ අටපදයෝ ඍද්ධිලාභ පිණිස සෘද්ධිප්‍රතිලාභ පිණිස ඍද්ධිවිකුර්‍වණ පිණිස ඍද්ධිවිශේෂ පවත්වන පිණිස සෘද්ධිවශීභාව පිණිස සෘද්ධිවිශාරද බව පිණිස පවතිත් යයි.
ඍද්ධියට සොළොස් මූලයෝ කවරහ යත්: (කෞසීද්‍ය වශයෙන්) නො නැමුණු සිත කෞසීද්‍ය නිමිතින් නො සැලේ (කම්පා නොවේ) නු’යි ආනෙඤ්ඡ නම. ඖද්ධත්‍යයෙන් නො හුවනලද සිත ඖද්ධත්‍ය නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, රාගවශයෙන් නො නැමුණු (අනහිනත) සිත රාග නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, ක්‍රෝධවශයෙන් ප්‍රතිමුඛ (අදුෂ්‍ය) වූ සිත ව්‍යාපාද නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, දෘෂ්ටි වශයෙන් අනිඃශ්‍රිත වූ සිත දෘෂ්ටි නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, ඡන්‍දරාගප්‍රතිබද්ධ නො වූ සිත ඡන්‍දරාග නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, විප්‍රමුක්ත සිත කාමරාග නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, කෙලෙසුන් කෙරෙන් වෙන් වූ සිත කෙලෙස් නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, කෙලෙස්හිමි නො කරනලද සිත කෙලෙස්හිම් නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, එකඟබවට ගිය සිත නානාස්වභාව කෙලෙස් නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, ශ්‍රද්ධාපරිගෘහීත සිත අශ්‍රද්ධා නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, වීර්‍ය්‍යයෙන් පරිගෘහීත සිත කෞසීද්‍ය නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, ස්මෘතියෙන් පරිගෘහීත සිත ප්‍රසාද නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, සමාධියෙන් පරිගෘහීත සිත ඖද්ධත්‍ය නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, ප්‍රඥායෙන් පරිගෘහීත සිත අවිද්‍යා නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, අවභාසයට ගිය සිත අවිද්‍යාන්‍ධකාර නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නමි. ඍද්ධිය පිළිබඳ මේ සොළොස් මූලයෝ ඍද්ධිලාභ පිණිස සෘද්ධිප්‍රතිලාභ පිණිස ඍද්ධිවිකුර්‍වණ පිණිස ඍද්ධිවිශේෂ පවත්වන පිණිස සෘද්ධිවශීභාව පිණිස ඍද්ධිවිශාරදභාව පිණිස පවතිත් යයි.
අධිෂ්ඨාන ඍද්ධි නම් කවරහ යත්: මෙසස්නෙහි මහණ තෙම අනේකප්‍රකාර වූ ඍද්ධිවිධ වළඳ කෙරෙයි. තෙමේ එකලා වැ සිට බහුප්‍රකාර ද වෙයි, බහුප්‍රකාර වැ සිට එකලා ද වෙයි, ආවිර්‍භාවය කෙරෙයි, නිරොභාවය කෙරෙයි, අහස්හි සෙයින් බිතින් පිටතට පවුරින් පිටතට පර්‍වතයෙන් පරභාගයට නො ලැගෙමින් යෙයි. දියෙහි සෙයින් පොළොවහිදු නැඟීම් ගැලීම් කෙරෙයි, පොළොව්හි සෙයින් අභිද්‍යාමානඋදකයෙහිදු යෙයි, පියා ඇති ලිහිණියකු සෙයින් අහස්හිදු පලගින් යෙයි, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙන ද අතින් පරාමර්‍ෂණය කෙරෙයි, පරිමර්‍ජනය කෙරෙයි, බඹලොව හිම් කොට කයින් වශයෙහි පවත්වයි.
ඉධ යනු: මේ දෘෂ්ටියෙහි මේ ක්‍ෂාන්තියෙහි මේ රුචියෙහි මේ ග්‍රහණයෙහි මේ ධර්‍මයෙහි මේ විනයෙහි මේ ධර්‍මවිනයෙහි මේ ප්‍රවචනයෙහි මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි මේ ශාස්තෘශාසනයෙහි යි. එයින් කියනුලැබෙයි ‘ඉධ’ යි.
භික්ඛු යනු: කල්‍යාණපෘථග්ජන මහණ හෝ වෙයි, ශෛක්‍ෂ හෝ වෙයි, අකෝප්‍යධර්‍ම ඇති රහත් හෝ වේ.
අනේකවිහිතං ඉද්ධිවිධං පච්චනුහොති යනු: නානාප්‍රකාර වූ ඍද්ධි කොටස් වළඳ කෙරෙයි.
ඒකෝපි හුත්‍වා බහුධා හොති යනු: පියවින් එකලා වැ බොහෝ කොට අවර්‍ජනා කෙරෙයි. සියක් හෝ දහසක් හෝ සුවහසක් හෝ අවර්‍ජනා කෙරෙයි, අවර්‍ජනා කොට ‘බොහෝ වෙමි’ ඥානයෙන් අධිෂ්ඨාන කෙරෙයි. බොහෝ වෙයි, යම්සේ ආයුෂ්මත් චුල්ලපන්‍ථක පියවින් එකලා වැ බහුප්‍රකාරයෙන් වේ ද එපරිද්දෙන් මැ ඒ චේතෝවශීප්‍රාප්ත වූ ඍද්ධිමත් තෙම පියවින් එකලා වැ බහුප්‍රකාර වෙයි.