යාව බ්රහ්මලෝකාපි කායේන වසං වතෙත්තී යනු: ඉදින් ඒ සිත්විසීපත් ඍද්ධි ඇත්තේ බඹලොවට යනු කැමැති වෙයි, දුරුදු වුව ‘වැළැත් වේව’යි ඉටයි, හේ වැළැත් වෙයි, වැළැතුදු වුව ‘දුරැ වේව’යි ඉටයි, හේ දුරැ වෙයි. බොහෝ ද වුව ‘මඳ වේව’යි ඉටයි හේ මඳ වෙයි. මඳ ද වුව, බොහෝ වේව’යි ඉටයි හේ බොහෝ වෙයි, දිවඇසින් ඒ බඹහුගේ රූපය බලයි, දිවසෝධයින් ඒ බඹහුගේ හඬ අසයි. පරසිත්දන්නා නුවණින් ඒ බඹහුගේ සිත දැනගනියි. ඉඳින් ඒ සිත්විසීපත් ඉදුහ ඇත්තේ පැනෙන සිරිරින් බඹලෙව් යාටි වේ නම් කාය වශයෙන් සිත පිරිනමයි කාය වසයෙන් සිත ඉටයි. කා විසින් සිත පිරිනමා කා විසින් සිත ඉටා සුඛසංඥාවට ද ලඝුසංඥාවට ද බැසැගෙන පැනෙන සිරිරින් බඹලොවට යෙයි. ඉදින් ඒ සිත් විසීපත් ඍද්ධි ඇත්තේ නො පැනෙන සිරිරින් බඹලොවට යාටි වේ නම් චිත්ත වසයෙන් කය පිරිනමයි, චිත්ත වසයෙන් කය ඉටයි. චිත්ත වසයෙන් කය පිරිනමා චිත්ත වසයෙන් කය ඉටා සුඛසංඥාවට ද ලඝුසංඥාවට ද බැසැගෙන නො පැනෙන සිරිරින් බඹලොවට යෙයි. හේ ඒ බඹහු ඉදිරියෙහි සියලු අඟපසඟ ඇති නො පිරිහුන් ඉඳුරන් ඇති මනෝමයරූපයක් නිර්මාණය කෙරෙයි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ සක්මන් කෙරේ නම් නිර්මිත වූයේ ද එහි සක්මන් කෙරෙයි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ සිටී නම් නිර්මිත වූයේ ද එහි සිටී. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ හිදි නම් නිර්මිත වූයේ ද එහි හිදි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ යහන්හි හොවී නම් නිර්මිත වූයේ ද එහි යහන්හි හොවී. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ දුමා නම් නිර්මිත වූයේ ද එහි දුමයි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ දිලියේ නම් නිර්මිත වූයේ ද එහි දිලියෙයි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ බෙණේ නම් නිර්මිත වූයේ ද එහි බෙණෙයි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ පැන පුළුවුසි නම් නිර්මිත වූයේ ද එහි පැන පුළුවුස්සි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ පැන පුළුවුස්නාලද්දේ විසඳා නම් නිර්මිත වූයේ ද එහි පැන පුළුවුස්නාලද්දේ විසඳයි. ඉඳින් ඒ ඍද්ධි ඇත්තේ ඒ බඹුන් හා සමග එක් වැ සිටී නම් සංලාප කෙරෙ නම් සාකච්ඡාවට පැමිණේ නම් නිර්මිත වූයේ ද එහි ඒ බඹුන් හා සමඟ එක් වැ සිටී. සංලාප කෙරෙයි. සාකච්ඡාවට පැමිණෙයි. ඒ ඍද්ධි ඇත්තේ යමක් යමක් මැ කෙරේ නම් ඒ නිර්මිත වූයේ ඒ ඒ දැය මැ කෙරේ නු’යි මේ අධිෂ්ඨානඍද්ධි නම.
විකුර්වණඍද්ධි නම් කවර යත්: සිඛී නම් වූ භාග්යවත් අර්හත් සම්යක්සම්බුද්ධයන්ගේ අභිභූ නම් ශ්රාවක තෙම බඹලොව්හි සිටියේ සහස්රීලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කෙළේ යැ හේ පැනෙන සිරුරිනුදු යුතු වැ දහම් දෙසී, නො පැනෙන සිරුරිනුදු යුතු වැ දහම් දෙසී, පැනෙන යටි අඞකයිනුදු නො පැනෙන උඩු අඞකයිනුදු යුතු වැ දහම් දෙසී, පැනෙන උඩු අඞකයිනුදු නො පැනෙන යටි අඞකයිනුදු යුතු වැ දහම් දෙසී. හේ පියවි පැහැසටහන් හැරපියා කුමරසටහන් හෝ දක්වයි, සප්සටහන් හෝ දක්වයි. ගුරුළුසටහන් හෝ දක්වයි, යක්සටහන් හෝ දක්වයි, අසුර සටහන් හෝ දක්වයි, සක්සටහන් හෝ දක්වයි, දෙවිසටහන් හෝ දක්වයි, බඹසටහන් හෝ දක්වයි, මුහුදුසටහන් හෝ දක්වයි, පවුසටහන් හෝ දක්වයි, අරනසටහන් හෝ දක්වයි, සිහසටහන් හෝ දක්වයි, වගසටහන් හෝ දක්වයි, දිවිසටහන් හෝ දක්වයි, ඇතකුදු දක්වයි, අසකුදු දක්වයි, රියදු පාබළ දු දක්වයි, නොයෙක් සෙන්මුළුදු දක්වා නු’යි මේ විකුර්වණඍද්ධි නම.
මනෝමය ඍද්ධි නම් කවර යත්: මෙ සසෙනෙහි මහණ මෙ කයින් රූපී වූ මනෝමය වූ සියලු අඟපසඟ ඇති නො පිරිහුන් ඉඳුරන් ඇති අනිත් කයක් නිර්මාණය කෙරෙයි, යම්සේ පුරුෂයෙක් මෘදුතෘණයෙන් කඩ (ගොබය) අදනේ නම් ඔහට මෙබඳු සිතෙක් වන්නේ යැ: ‘මේ මෘදු තෘණ යැ මේ කඬ යැ මෘදුතෘණය අනෙකෙක, කඬ අනෙකෙකි. මෘදු තෘණයෙන් මැ කඩ අදනාලදැ’යි. තවද යම්සේ හෝ පුරුෂයෙක් කඩුව කොපුවෙන් අදනේ නම් ඔහට මෙබඳු සිතෙක් වන්නේ යැ: මේ කඩුව ය මේ කොපුව යැ. කඩුව අනෙකෙක, කොපුව අනෙකෙකි. කොපුවෙන් මැ කඩුව අදනාල දැ’යි. තවද යම්සේ හෝ පුරුෂයෙක් සර්පයකු නිර්මොක (සැව) යෙන් නඟන්නේ නම් (සර්පයා තමා මැ සැව නඟනු පුරුෂ තෙම සිතින් ගෙනැ’යි යූ සේ යි) ඔහට මෙබඳු සිතෙක් වන්නේ යැ: ‘මේ සර්ප යැ මේ නිර්මොක යැ සර්පයා අනෙකක, නිර්මොකය අනෙකෙකි. නිර්මොකයෙන් මැ සර්පයා නඟනලදැ’යි. එසෙයින් මැ මහණ තෙම මෙ කයින් රූපී වූ මනෝමය වූ සියලු අඟපසඟ ඇති නො පිරිහුන් ඉඳුරන් ඇති අනිත් කයක් නිර්මාණය කෙරෙයි. මේ මනෝමය ඍද්ධි නමි.
ඥානවිෂ්ඵාරඍද්ධි නම් කවර යත්: අනිත්යානුදර්ශනයෙන් නිත්යසංඥාවගේ ප්රහාණාර්ත්ථය සිද්ධ වේ නු’යි ඥානවිෂ්ඵාර ඍද්ධි යැ දුඃඛානුදර්ශනයෙන් සුඛසංඥාවගේ ... අනාත්මානුදර්ශනයෙන් ආත්මසංඥාවගේ ... නිර්වේදානුදර්ශනයෙන් නන්දියගේ ... විරාගානුදර්ශනයෙන් රාගයාගේ ... නිරෝධානුදර්ශනයෙන් සමුදයාගේ ... පටිනිස්සග්ගානුපස්සනායෙන් ආදීනවයාගේ ප්රහාණාර්ත්ථය සිද්ධ වේ නු’ යි ඥානවිෂ්ඵාර ඍද්ධි යැ. ආයුෂ්මත් බක්කුලහට ඥානවිෂ්ඵාර ඍද්ධි යැ. ආයුෂ්මත් සඞ්කිච්චහට ඥානවිෂ්ඵාර ඍද්ධි යැ. ආයුෂ්මත් භූතපාලහට ඥානවිෂ්ඵාර ඍද්ධි යැ. මේ ඥානවිෂ්ඵාරඍද්ධි නම.
සමාධිවිෂ්ඵාර ඍද්ධි නම් කවර යත්: ප්රථමධ්යානයෙන් නීවරණයන්ගේ ප්රහාණාර්ත්ථය සිද්ධ වේ නු’යි සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. ද්විතීය ධ්යානයෙන් විතර්කවිචාරයන්ගේ ප්රහාණාර්ත්ථය සිද්ධ වේ නු’යි සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. තෘතීයධ්යානයෙන් ප්රීතියගේ ප්රහාණාර්ත්ථය සිද්ධ වේ නු’යි ... චතුර්ත්ථධ්යානයෙන් සුඛදුඃඛයන්ගේ ප්රහාණාර්ත්ථය සිද්ධ වේ නු’යි ... ආකාසානඤ්චායතනසමාපත්තියෙන් රූපසංඥාවගේ ප්රතිඝසංඥාවගේ නානාත්ව සංඥාවගේ ප්රහාණාර්ත්ථය සිද්ධ වේ නු’යි ... විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙන් ආකාසානඤ්චායතනසංඥාවගේ ප්රහාණාර්ත්ථය සිද්ධ වේ නු’යි ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙන් විඥානන්ත්යායතනසංඥාවගේ ප්රහාණාර්ත්ථය සිද්ධ වේ නු’යි ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතනසංඥාවගේ ප්රහාණාර්ත්ථය සිද්ධ වේ නු’යි සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. ආයුෂ්මත් ශාරීපුත්රයන්ට සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. ආයුෂ්මත් සඤ්ජීවයන්ට සමාධි විෂ්ඵාර ඍද්ධි යැ ආයුෂ්මත් ඛාණුකොණ්ඩඤ්ඤයන්ට සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. උත්තරාඋවැසියට සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. සමාවතීඋවැසියට සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. මේ සමාධිවිෂ්ඵාර ඍද්ධි නම.