2. 6.
ප්රතිසංවිත් කථා
මා විසින් මෙසේ අසන ලද. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ බරණැස ඉසිපතන්හි මිගදාය නම් වූ අරම්හි වාසය කරණ සේක. එසමයෙහි භාග්යවතුන් වහන්සේ පස්වගමහණුන් ඇමතූ සේක:
මහණෙනි, මේ අන්තයෝ දෙදෙනෙක් පැවිද්දහු විසින් නො සෙවිය යුත්තාහ. කවර දෙදෙනෙක යත්: යම් හීන වූ ග්රාම්ය වූ පෘථග්ජනයන් විසින් ආචීර්ණ වූ අනාර්ය්ය වූ අනර්ත්ථසංහිත වූ වස්තුකාමයෙහි ක්ලේශකාමසුඛයාගේ අනුයෝගයෙකුත් වේ ද, යම් දුක් වූ අනාර්ය්ය වූ අනර්ත්ථසංහිත වූ ආත්මක්ලමථයාගේ අනුයෝගයෙකුත් වේ ද මොහු දෙදෙන වෙත්. මහණෙනි, තෙල අන්තද්වයට නො පැමිණ තථාගත විසින් ප්රතිවේධ කරන ලද පැනඇස් ඇති කරන්නී වූ නුවණ ඇති කරන්නී වූ මධ්යමප්රතිපදාව කෙලෙසුන් සන්හිඳීම් පිණිස චතුස්සත්යයාගේ අභිජානනය පිණිස සම්බෝධය පිණිස නිර්වාණය පිණිස පවති.
මහණෙනි, තථාගතයන් විසින් ප්රතිවේධ කරනලද, පැනැස උපදවන නුවණ උපදවන ඒ කවර මධ්යමප්රතිපදාවක් කෙලෙසුන් සන්හිඳීම පිණිස චතුස්සත්යයාගේ අභිජානනය පිණිස සම්බෝධය පිණිස නිර්වාණය පිණිස පවතී ද යත්: මෙ මැ ආර්ය්යාෂ්ටාඞ්ගිමාර්ග යැ, හෙ මෙසේ යැ: සම්යග්දෘෂ්ටි යැ, සම්යක් සංකල්ප යැ සම්යග්වචන යැ සම්යක්කර්මාන්ත යැ සම්යගාජීව යැ සම්යක් ව්යායාම යැ සම්යක් ස්මෘති යැ සම්යක් සමාධි යැ යි. මහණෙනි, තථාගතයන් විසින් ප්රතිවේධ කරනලද පැනැස උපදවන නුවණ උපදවන මේ ඒ මධ්යමප්රතිපදාව කෙලෙසුන් සන්හිඳීම පිණිස චතුස්සත්යයාගේ අභිජානනය පිණිස සම්බෝධය පිණිස නිර්වාණය පිණිස පවතී.
මහණෙනි, මේ වනාහි දුඃඛ නම් ආර්ය සත්යය වෙයි, ජාතිය ද දුක් යැ ජරාව ද දුක් යැ ව්යාධිය ද දුක් යැ මරණය ද දුක් යැ අප්රියයන් හා සමග එක්වීම ද දුක් යැ ප්රියයන් කෙරෙන් වෙන්වීම ද දුක් යැ ඉස්නේ යමක් නො ලබා නම් එ ද දුක් යැ සැකෙවින් පඤ්චෝපාදානස්කන්ධයෝ දුඃඛයෝ යි.
මහණෙනි, මේ වනාහි දුඃඛසමුදය නම් වු ආර්ය්යසත්යය වෙයි: යම් තෘෂ්ණාවක් පුනර්භවය කරනසුලු ද නන්දිරාගය හා සමග ඒකත්වයට ගියා ද ඒ ඒ භවයෙහි සතුටුවනසුලු ද හෝ තෘෂ්ණා යැ. හේ මෙසේ යැ: කාමතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි.
මහණෙනි, මේ වනාහි දුඃඛනිරෝධ නම් වු ආර්ය්යසත්යය වෙයි: ඒ මැ තෘෂ්ණායෙහි යම් අශේෂවිරාග සඞ්ඛ්යාත නිරෝධයෙක් ත්යාගයෙක් හැරපීමෙක් මුක්තියක් ආලය රහිත බවෙක් වේ ද හේ යැ.
මහණෙනි, මේ වනාහි දුඃඛනිරෝධගාමිනීප්රතිපත් නම් වූ ආර්ය්යසත්යය වෙයි: මෙ මැ ආර්ය්යාෂ්ටාඞ්ගිකමාර්ග යැ, හෙ මෙසේ යැ: සම්යග්දෘෂ්ටි යැ ... සම්යක් සමාධි යැ යි.
මහණෙනි, ‘මේ දුඃඛ නම් වූ ආර්ය්යසත්ය යැ’යි පෙර නො ඇසූ විරූ දහම්හි මට පැනැස පහළ විය, ඥානය පහළ විය, ප්රඥාව පහළ විය, මාර්ගවිද්යාව පහළ වූ යැ ආලෝකය පහළ විය. තවද මහණෙනි, ඒ මේ දුඃඛ නම් වූ ආර්ය්යසත්යය (සාමාන්යලක්ෂණාවබෝධ විසින්) පිරිසිඳ දතයුතු යැ’යි මට ... මහණෙනි, ම විසින් ‘පරිඥාත යැ’යි පෙර නො ඇසූවිරූ දහම්හි පැනැස පහළ විය, ඥානය පහළ විය, ප්රඥාව පහළ විය, මාර්ගවිද්යාව පහළ විය. ආලෝකය පහළ විය.
මහණෙනි, ‘මේ දුඃඛසමුදය නම් වූ ආර්ය්යසත්ය යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්රඥාව පහළ විය, මාර්ගවිද්යාව පහළ විය, ආලෝකය පහළ විය. තවද මහණෙනි, ‘ඒ දුඃඛසමුදය නම් වූ ආර්ය්යසත්යය ප්රහාතව්ය යැ’යි මට ... මහණෙනි, ම විසින් ‘ප්රහීණ යැ’යි පෙර නො ඇසූ විරූ දහම්හි මට පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්රඥාව පහළ විය, මාර්ගවිද්යාව පහළ විය, ආලෝකය පහළ විය.
මහණෙනි, ‘මේ දුඃඛනිරෝධ නම් වූ ආර්ය්යසත්ය යැ’යි පෙර නො ඇසූවිරූ දහම්හි මට පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්රඥාව පහළ විය, මාර්ගවිද්යාව පහළ විය, ආලෝකය පහළ විය. තවද මහණෙනි, ‘ඒ මේ දුඃඛනිරෝධය නම් වු ආර්ය්යසත්යය සාක්ෂාත්කර්තව්ය යැ’යි මට ... මහණෙනි, මා විසින් ‘සාක්ෂාත්කෘත යැ’යි පෙර නො ඇසූවිරූ දහම්හි පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්රඥාව පහළ විය, මාර්ගවිද්යාව පහළ විය, ආලෝකය පහළ විය.