2. 10.
ශුන්‍යතා කථා
මා විසින් මෙසේ අසනලද. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසනසේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ වැඳ එකත්පස් වැ භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ.
වහන්ස, ‘ලෝකය ශුන්‍ය යැ ලෝකය ශූන්‍ය යැ’යි කියනු ලැබෙයි. වහන්ස, කිපමණෙකින් ‘ලෝකය ශුන්‍ය යැ’යි කියනු ලැබේ දැ යි. යම් හෙයකින් ආනන්‍දයෙනි, ආත්ම භාවයෙන් ද ආත්මනීයභාවයෙන් ද ශූන්‍ය වේ නම් එහෙයින් ‘ලෝකය ශූන්‍ය යැ’යි කියනු ලැබෙයි. තව ද ආනන්‍දයෙනි, කුමක් ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශුන්‍ය වේ ද යත්, ආනන්‍දයෙනි, චක්‍ෂුස ආත්ම භාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශුන්‍ය වෙයි, රූපයෝ ආත්ම භාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය වෙති, චක්‍ෂුර් විඥානය ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය වෙයි. චක්ඛුසම්ඵස්සය ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය වෙයි. චක්ඛුසම්ස්ස ප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය වෙයි.
ශ්‍රෝත්‍රය ශූන්‍ය යැ ... ශබ්දයෝ ශූන්‍යහ ... ඝ්‍රාණය ශූන්‍ය යැ ... ගන්‍ධයෝ ශූන්‍ය හ ... ජීහ්වාව ශූන්‍ය යැ ... රසයෝ ශූන්‍යහ ... කය ශූන්‍ය යැ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ශූන්‍ය හ ... මනස ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය යැ, ධර්‍මයෝ ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍යයෝ යැ, මනෝවිඥානය ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය යැ, මනෝසම්ඵස්සය ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය යැ, මනෝසම්ඵස්ස ප්‍රත්‍යයෙන් සුව වූ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය යැ. යම් හෙයකින් ආනන්‍දයෙනි, ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය වේ නම් එහෙයින් ‘ලෝකය ශූන්‍ය යැ’යි කියනු ලැබේ’යයි.
ශූන්‍ය සඞ්ඛ්‍යාත ශූන්‍ය යැ, සංස්කාරශූන්‍ය යැ, විපරිණාමශූන්‍ය යැ, අග්‍රශූන්‍ය යැ, ලක්‍ෂණශූන්‍ය යැ, විෂ්කම්භණශූන්‍ය යැ, තදඞ්ගශූන්‍ය යැ, සමුච්ඡේදශූන්‍ය යැ, ප්‍රතිප්‍රශ්‍රබ්ධිශූන්‍ය යැ, තිස්සරණශූන්‍ය යැ, අධ්‍යාත්මශූන්‍ය යැ, බාහ්‍යශූන්‍ය යැ, උභයතඃශූන්‍ය යැ, සභාගතශූන්‍ය යැ, විසභාගශූන්‍ය යැ, ඒෂණාශූන්‍ය යැ, පරිග්‍රහශූන්‍ය යැ, ප්‍රතිලාභශූන්‍ය යැ, ප්‍රතිවේධශූන්‍ය යැ, ඒකත්‍වශූන්‍ය යැ, නානාත්‍වශූන්‍ය යැ, ක්‍ෂාන්තිශූන්‍ය යැ, අධිෂ්ඨානශූන්‍ය යැ, පර්‍ය්‍යවගාහණශූන්‍ය යැ, සම්‍යක්ප්‍රඥා ඇත්තහු (රහත්හු) ගේ ප්‍රවෘත්ත (ස්කන්‍ධ) යන් ක්‍ෂය කිරීම හැම ශූන්‍යතයන් අතුරින් පරමාර්‍ත්‍ථශූන්‍ය යි.
ශූන්‍ය සඞ්ඛ්‍යාත ශූන්‍යය කවරැ යත්: චක්‍ෂුස ආත්මයෙන් හා ආත්මනීයෙන් හා නිත්‍යයෙන් හා ධ්‍රැවයෙන් හා ශාශ්වතයෙන් හා අවිපරිණාමස්වභාවයෙන් හා ශූන්‍ය යැ. ශ්‍රෝත්‍රය ශූන්‍ය යැ ... ඝ්‍රාණය ශූන්‍ය යැ ... ජීහ්වාව ශූන්‍ය යැ ... කය ශූන්‍ය යැ ... මනස ආත්මයෙන් හා ආත්මනියෙන් හා නිත්‍යයෙන් හා ධ්‍රැවයෙන් හා ශාශ්වතයෙන් හා අවිපරිණාමස්වභාවයෙන් හා ශූන්‍ය යැ. මේ ශූන්‍ය සඞ්ඛ්‍යාත ශූන්‍ය යි.
සංස්කාරශූන්‍යය කවරැ යත්: සංස්කාරයෝ තිදෙනෙක් වෙති: පුණ්‍යාභිසංස්කාර යැ අපුණ්‍යාභිසංස්කාර යැ ආනෙඤ්ජාභිසංස්කාර යැ යි. පුණ්‍යාභිසංස්කාරය අපුණ්‍යාභිසංස්කාරයෙනුදු ආනෙඤ්ජාභිසංස්කාරයෙනුදු ශූන්‍ය යැ. අපුණ්‍යාභිසංස්කාරය පුණ්‍යභිසංස්කාරයෙනුදු ආනෙඤ්ජාභිසංස්කාරයෙනුදු ශූන්‍ය යැ. ආනෙඤ්ජාභිසංස්කාරය පුණ්‍යාභිසංස්කාරයෙනුදු අපුණ්‍යාභිසංස්කාරයෙනුදු ශූන්‍ය යි. මොහු තුන් සංස්කාරයෝ යි.
අන්‍ය වූ ද තුන් සංස්කාර කෙනෙක් වෙති: කායසංස්කාර යැ වාක්සංස්කාර යැ චිත්තසංස්කාර යැ යි. කායසංස්කාරය වාක්සංස්කාරයෙනුදු චිත්තසංස්කාරයෙනුදු ශූන්‍ය යැ. වාක්සංස්කාරය කායසංස්කාරයෙනුදු චිත්තසංස්කාරයෙනුදු ශුන්‍ය යැ, චිත්තසංස්කාරය කායසංස්කාරයෙනුදු වාක්සංස්කාරයෙනුදු ශූන්‍ය යි. මොහු තුන් සංස්කාරයෝ යි.
අන්‍ය වූ ද තුන් සංස්කාර කෙනෙක් වෙති: අතීතසංස්කාර යැ අනාගතසංස්කාර යැ ප්‍රත්‍යුත්පන්නසංස්කාර යැයි අතීතසංස්කාරයෝ අනාගත වූ ද ප්‍රත්‍යුත්පන්න වූ ද සංස්කාරයන්ගෙන් ශූන්‍යහ. අනාගතසංස්කාරයෝ අතීත වූ ද ප්‍රත්‍යුත්පන්න වූ ද සංස්කාරයන්ගේ ශූන්‍යහ. ප්‍රත්‍යුත්පන්නසංස්කාරයෝ අතීත වූ ද අනාගත වූ ද සංස්කාරයන්ගෙන් ශූන්‍යහ. මොහු තුන් සංස්කාරයෝ යි. මේ සංස්කාරශූන්‍ය නම් වෙයි.