5.
විමෝක්‍ෂකථා
[සැවැත්නිදාන යි]
5-1. ”මහණෙනි, මේ විමෝක්‍ෂයෝ තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක් ද යත්: ශුන්‍යතවිමෝක්‍ෂ යැ අනිමිත්තවිමෝක්‍ෂ යැ අප්‍රණිහිතවිමෝක්‍ෂ යි. මහණෙනි, මොහු තුන්විමෝක්‍ෂයෝ යි.”
තවද විමෝක්‍ෂයෝ අට සැට දෙනෙක් වෙති: ශුන්‍යතවිමෝක්‍ෂ යැ අනිමිත්තවිමෝක්‍ෂ යැ අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ (සතර ධ්‍යානයෝ අධ්‍යාත්මයෙහි නීවරණාදියෙන් නැඟීසිටුනා හෙයින්) අජ්ඣත්තවුට්ඨානවිමෝක්ඛ යැ (සතර අරූපසමාපත්තිහු ආලම්බනයන් කෙරෙන් නැඟිසිටුනා හෙයින්) බහිද්ධාවුට්ඨානවිමෝක්ඛ යැ දුභතෝවුට්ඨාන (සමුච්ඡේද) විමොක්ඛ යැ අජ්ඣත්තවුට්ඨාන වූ ධ්‍යාන සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ යැ බහිද්ධාවුට්ඨාන වූ අරූපසමාපත්ති සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ යැ දුභතෝවුට්ඨාන වූ සතර විමෝක්‍ෂයෝ යැ අජ්ඣත්තවුට්ඨානයන්ට අනුලොම් වූ සතර විමෝක්‍ෂයෝ යැ බහිද්ධාවුට්ඨානයන්ට අනුලොම් වූ සතර විමෝක්‍ෂයෝ යැ දුභතෝවුට්ඨානයන්ට අනුලොම් වූ සතර විමෝක්‍ෂයෝ යැ අජ්ඣත්නවුට්ඨානයන්ගේ සන්හිඳීම් සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ යැ බහිද්ධාවුට්ඨානයන්ගේ සන්හිඳීම් සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ යැ දුභතෝවුට්ඨානයන්ගේ සන්හිඳීම් සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ යැ රූපධ්‍යාන ඇත්තේ (කසිණාදි බාහිර) රූපයන් (ධ්‍යානචක්‍ෂුසින්) දකී නු’යි විමෝක්‍ෂ යැ අධ්‍යාත්මයෙහි ‘රූප’ යැ යන සංඥා නැත්තේ බාහිරරූපයන් දකී නු’යි විමෝක්‍ෂ යැ ‘ශුභ’ යැ යි අධිමුක්ත වේ නු’යි විමෝක්‍ෂ යැ ආකාසානඤ්චායතනසමාපත්ති විමෝක්‍ෂ යැ විඤ්ඤාණඤ්චායතනසමාපත්ති විමෝක්‍ෂ යැ ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති විමෝක්‍ෂ යැ නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති විමෝක්‍ෂ යැ සංඥාවේදයිත නිරෝධසමාපත්ති විමෝක්‍ෂ යැ සමය විමෝක්‍ෂ යැ අසමය විමෝක්‍ෂ යැ සාමයිකව විමෝක්‍ෂ යැඅසාමයික විමෝක්‍ෂ යැ කොප්‍යවිමෝක්‍ෂ යැ අකෝප්‍ය විමෝක්‍ෂ යැ ලෞකික විමෝක්‍ෂ යැ ලෝකෝත්තර විමෝක්‍ෂ යැ සාස්‍රව විමෝක්‍ෂ යැ අනාස්‍රව විමෝක්‍ෂ යැ සාම්ෂ විමෝක්‍ෂ යැ නිරාමිෂ විමෝක්‍ෂ යැ නිරාමිෂයට වඩා අතිශයින් නිරාමිෂ වූ විමෝක්‍ෂ යැ ප්‍රණීහිත විමෝක්‍ෂ යැ අප්‍රණිහිත විමෝක්‍ෂ යැ ප්‍රණිධි සන්හිඳීම් සඞ්ඛ්‍යාත විමෝක්‍ෂ යැ සංයුක්ත විමෝක්‍ෂ යැ විසංයුක්ත විමෝක්‍ෂ යැ ඒකත්‍ව විමෝක්‍ෂ යැ නානාත්‍ව විමෝක්‍ෂ යැ සංඥා විමෝක්‍ෂ යැ ඥානවිමෝක්‍ෂ යැ (විදර්‍ශනාඥානය මැ) ‘සිහිල් වන්නේ යැ’යි පවත්නා විමෝක්‍ෂ යැ ධ්‍යාන විමෝක්‍ෂ යැ උපාදාන නො කොට චිත්තයාගේ විමෝක්‍ෂය යි.
විමෝක්‍ෂෝද්දේශ යි.
ශුන්‍යතවිමෝක්‍ෂ කවරෙ යත්: මෙසස්නෙහි මහණ තෙම අරනට ගියේ හෝ රුක්මුලට ගියේ හෝ ශුන්‍යාගාරයට ගියේ හෝ මෙසෙයින් ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘මේ පඤ්චස්කඣය තෙම ආත්මයෙන් හෝ ආත්මීයයෙන් හෝ ශුන්‍ය වේ’ යයි. හෙතෙම එහි අභිනිවේශ නො කෙරේ නු’යි ශුන්‍යත විමෝක්‍ෂ නම. මේ ශුන්‍යතවිමෝක්‍ෂ නම් වෙයි.
අනිමිත්තවිමෝක්‍ෂ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම අරනට ගියේ හෝ රුක්‍මුලට ගියේ හෝ ශුන්‍යාගාරයට ගියේ හෝ මෙසෙයින් ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මේ පඤ්චස්කඣය තෙම ආත්මයෙන් හෝ ආත්මීයයෙන් හේ ශුන්‍ය වේ” යයි. හෙතෙම එහි (නිත්‍ය) නිමිත්ත නො කෙරේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ නම්, මේ අනිමිත්තවිමෝක්‍ෂ නම් වෙයි.
අප්‍රණිහිතවිමෝක්‍ෂ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම අරනට ගියේ හෝ රුක්‍මුලට ගියේ හෝ ශුන්‍යාගාරයට ගියේ හෝ මෙසෙයින් ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මේ පඤ්චස්කඣය තෙම ආත්මයෙන් හෝ ආත්මීයයෙන් හේ ශුන්‍ය වේ” යයි. හෙතෙම එහි ප්‍රණිධි නො කෙරේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ නම, මේ අප්‍රණිහිතවිමෝක්‍ෂ නම් වෙයි.
අජ්ඣත්තවුට්ඨානවිමෝක්ඛ කවරෙ යත්: සතර ධ්‍යානයෝ යි. මේ අජ්ඣත්තවුට්ඨානවිමෝක්ඛ නම් වෙයි.
බහිද්ධාවුට්ඨානවිමෝක්ඛ කවරෙ යත්: සතර අරූපසමාපත්තීහු යි. මේ බහිද්ධාවුට්ඨානවිමෝක්ඛ නම් වෙයි.
දුභතොවුට්ඨානවිමෝක්‍ෂ කවරෙ යත්: සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ යි. මේ දුභතෝවුට්ඨානවිමොක්ඛ නම් වෙයි.
අධ්‍යාත්මව්‍යුත්‍ථාන වූ සතර විමෝක්‍ෂයෝ කවරහ යත්: ප්‍රථමධ්‍යානය (අධ්‍යාත්මයෙහි) නීවරණයන් කෙරෙන් නැඟෙයි, ද්විතීයධ්‍යානය විතර්‍කවිචාරයන් කෙරෙන් නැඟෙයි, තෘතීයධ්‍යානය ප්‍රීතිය කෙරෙන් නැඟෙයි, චතුර්‍ත්‍ථධ්‍යානය සුඛදුඃඛයන් කෙරෙන් නැඟේ. මොහු අධ්‍යාත්මව්‍යුත්‍ථාන වූ සතර විමෝක්‍ෂයෝ වෙති.
බහිර්ව්‍යුත්‍ථාන වූ සතර විමෝක්‍ෂයෝ කවරහ යත්: ආකාසානඤ්චායතන සමාපත්තිය රූපසංඥායෙන් ප්‍රතිඝසංඥායෙන් නානාත්‍වසංඥායෙන් නැඟෙයි, විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ආකාසානඤ්චායතනසංඥාව කෙරෙන් නැඟෙයි, ආකිඤ්ඤඤ්ඤායතන සමාපත්තිය විඤ්ඤාණඤ්චායතනසංඥාව කෙරෙන් නැඟෙයි, නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ආකිඤ්ඤඤ්ඤායතනසංඥාව කෙරෙන් නැඟේ. මොහු බහිර්ව්‍යුත්‍ථාන වූ සතර විමෝක්‍ෂයෝ වෙති.
දුභතෝවුට්ඨාන වූ සතර විමෝක්‍ෂයෝ කවරහ යත්: ස්‍රෝතාපත්තිමාර්‍ගය සත්කායදෘෂ්ටිවිචිකිත්සාශීලව්‍රතපරාමර්‍ශ කෙරෙන් දෘෂ්ට්‍යනුශය කෙරෙන් විචිකිත්සානුශය කෙරෙන් නැඟෙයි, එය අනුව පවත්නා කෙලෙසුන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි, බාහිර වූත් සියලු නිමිති කෙරෙන් නැඟෙයි, සකෘදාගාමිමාර්‍ගය ඖදාරික වූ කාමරාගසංයෝජනය කෙරෙන් ප්‍රතිඝසංයෝජනය කෙරෙන් ඖදාරික වූ කාමරාගානුශය කෙරෙන් ප්‍රතිඝානුශය කෙරෙන් නැඟෙයි, එය අනුව පවත්නා කෙලෙසුන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි, බාහිර වූත් සියලු නිමිති කෙරෙන් නැඟෙයි, අනාගාමිමාර්‍ගය අණුසහගත වූ කාමරාගසංයෝජනය කෙරෙන් ප්‍රතිඝසංයෝජනය කෙරෙන් අණුසහගත වූ කාමරාගානුශය කෙරෙන් ප්‍රතිඝානුශය කෙරෙන් නැඟෙයි, එය අනුව පවත්නා කෙලෙසුන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි, බාහිර වූත් සියලු නිමිති කෙරෙන් නැඟෙයි,