4-2. ද්විතීය සූත්රය
[සාවත්ථි නිදාන යි]
මහණෙනි, මේ ඉන්ද්රියයෝ පස්දෙනෙක් වෙති. කවර පස්දෙනෙක යත්: ශ්රද්ධේන්ද්රිය යැ වීර්ය්යෙන්ද්රිය යැ ස්මෘතින්ද්රිය යැ සමාධීන්ද්රිය යැ ප්රඥේන්ද්රිය යි.
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පඤ්චේන්ද්රියයන්ගේ සමුදය (ප්රත්යය)ත් අස්තඞ්ගමයත් ආශ්වාදයත් ආදීනවයත් නිස්සරණයත් යථාස්වභාවයෙන් නො දනිත් ද, මහණෙනි, මා විසින් ඒ මහණහු වේවයි බමුණහු වේවයි ශමිතපාපී ශ්රමණයන් කෙරෙහි හෝ ‘ශ්රමණ යැයි’ සම්මතයෝ නො වෙති. බාහිතපාපී බ්රාහ්මණයන් කෙරෙහි හෝ ‘බ්රාහ්මණ යැ’යි සම්මතයෝ නො වෙති. තවද තෙල ආයුෂ්මත්හු ශ්රමණභාවාර්ත්ථය හෝ බ්රාහ්මණභාවාර්ත්ථය හෝ මෙ අත්බැව්හි මැ තුමූ අභිඥායෙන් ප්රත්යක්ෂ කොට එයට පැමිණ නො ද වාසය කෙරෙති.
තවද මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බ්රාහ්මණ කෙනෙක් හෝ මේ පඤ්චේන්ද්රියයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් යථාස්වභාවයෙන් දැනගනිත් ද, මහණෙනි, මා විසින් වැළිත් ඒ මහණහු වේවයි බමුණහු වේවයි (ශමිතපාපී) ශ්රමණයන් කෙරෙහි ‘ශ්රමණ යැයි’ සම්මතයෝ වෙති. (බාහිතපාපී) බ්රාහ්මණයන් කෙරෙහි ‘බ්රාහ්මණ යැ’යි සම්මතයෝ වෙති. තවද තෙල ආයුෂ්මත්හු ශ්රමණභාවාර්ත්ථය ද බ්රාහ්මණභාවාර්ත්ථය ද මෙ අත්බැව්හි මැ තුමූ අභිඥායෙන් ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය කෙරෙත් යයි.
කිහි අයුරෙකින් පඤ්චේන්ද්රියයන්ගේ සමුදය වේ ද, කිහි අයුරෙකින් පඤ්චේන්ද්රියයන්ගේ සමුදය දැනගනී ද, කිහි අයුරෙකින් පඤ්චේන්ද්රියයන්ගේ අස්තඞ්ගමය වේ ද, කිහි අයුරෙකින් පඤ්චේන්ද්රියයන්ගේ අස්තඞ්ගමය දැනගනී ද, කිහි අයුරෙකින් පඤ්චේන්ද්රියයන්ගේ ආස්වාදය වේ ද, කිහි අයුරෙකින් පඤ්චේන්ද්රියයන්ගේ ආස්වාදය දැනගනී ද, කිහි අයුරෙකින් පඤ්චේන්ද්රියයන්ගේ ආදීනව වේ ද, කිහි අයුරෙකින් පඤ්චේන්ද්රියයන්ගේ ආදීනව දැනගනී ද, කිහි අයුරෙකින් පඤ්චේන්ද්රියයන්ගේ නිස්සරණය වේ ද, කිහි අයුරෙකින් පඤ්චේන්ද්රියයන්ගේ නිස්සරණය දැනගනී ද යත්:
සතලිස් අයුරෙකින් පඤ්චේන්ද්රියයන්ගේ සමුදය වෙයි, සතලිස් අයුරෙකින් පඤ්චේන්ද්රියයන්ගේ සමුදය දැනගනී, සතලිස් අයුරෙකින් පඤ්චේන්ද්රියයන්ගේ අස්තඞ්ගමය වෙයි, සතලිස් අයුරෙකින් පඤ්චේන්ද්රියයන්ගේ අස්තඞ්ගමය දැනගනී. පස්විසි අයුරෙකින් පඤ්චේන්ද්රියයන්ගේ ආස්වාදය වෙයි, පස්විසි අයුරෙකින් පඤ්චේන්ද්රියයන්ගේ ආස්වාදය දැනගනී. පස්විසි අයුරෙකින් පඤ්චේන්ද්රියයන්ගේ ආදීනව වෙයි, පස්විසි අයුරෙකින් පඤ්චේන්ද්රියයන්ගේ ආදීනව දැනගනී. එක්සියඅසූ අයුරෙකින් පඤ්චේන්ද්රියයන්ගේ නිස්සරණය වෙයි. එක්සියඅසූ අයුරෙකින් පඤ්චේන්ද්රියයන්ගේ නිස්සරණය දැනගනී.
කවර සතලිස් අයුරෙකින් පඤ්චේන්ද්රියයන්ගේ සමුදය වේ ද, කවර සතලිස් අයුරෙකින් පඤ්චේන්ද්රියයන්ගේ සමුදය දැනගනී ද යත්:
අධිමෝක්ෂය (ශ්රද්ධාව) පිණිස පැවැති මනෝද්වාරාවර්ජනචිත්තයාගේ සමුදය ශ්රද්ධේන්ද්රියට ප්රත්යය වෙයි. (ඡන්දසම්ප්රයුක්ත) අධිමෝක්ෂයාගේ වශයෙන් පැවැති ධර්මච්ඡන්දයාගේ සමුදය ශ්රද්ධේන්ද්රියට ප්රත්යය වෙයි, අධිමෝක්ෂයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ සමුදය ශ්රද්ධේන්ද්රියට ප්රත්යය වෙයි. ශ්රද්ධේන්ද්රියාගේ වශයෙන් පැවැති ඒකාලම්බනයෙහි අචලත්වයෙන් සිටිමි ශ්රද්ධේන්ද්රියට ප්රත්යය වෙයි. ප්රග්රහ පිණිස පැවැති මනෝද්වාරාවර්ජනචිත්තයාගේ සමුදය වීර්ය්යෙන්ද්රියට ප්රත්යය වෙයි. (ඡන්දසම්ප්රයුක්ත) ප්රග්රහයාගේ වශයෙන් පැවැති ධර්මච්ඡන්දයාගේ සමුදය වීර්ය්යෙන්ද්රියට ප්රත්යය වෙයි. ප්රග්රහයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ සමුදය වීර්ය්යෙන්ද්රියට ප්රත්යය වෙයි. වීර්ය්යේන්ද්රියයාගේ වශයෙන් පැවැති ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටීම වීර්ය්යෙන්ද්රියට ප්රත්යය වෙයි. (අරමුණට) එළඹසිටීම පිණිස පැවැති මනෝද්වාරාවර්ජනචිත්තයාගේ සමුදය ස්මෘතීන්ද්රියයට ප්රත්යය වෙයි. (අරමුණට) එළඹසිටීම් වශයෙන් පැවැති ධර්මච්ඡන්දයාගේ සමුදය ස්මෘතීන්ද්රියයට ප්රත්යය වෙයි. (අරමුණට) එළඹසිටීම් වශයෙන් පැවැති මනසිකාරයාගේ සමුදය ස්මෘතීන්ද්රියට ප්රත්යය වෙයි. ස්මෘතීන්ද්රියයාගේ වශයෙන් ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටීම ස්මෘතීන්ද්රියට ප්රත්යය වෙයි. අවික්ෂේපය පිණිස පැවැති මනෝද්වාරාවර්ජනචිත්තයාගේ සමුදය සමාධීන්ද්රියට ප්රත්යය වෙයි. අවික්ෂෙපයාගේ වශයෙන් පැවැති ධර්මච්ඡන්දයාගේ සමුදය සමාධීන්ද්රියට ප්රත්යය වෙයි. අවික්ෂෙපයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ සමුදය සමාධීන්ද්රියට ප්රත්යය වෙයි. සමාධීන්ද්රියයාගේ වශයෙන් පැවැති ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටිමි සමාධීන්ද්රියට ප්රත්යය වෙයි. දර්ශනය පිණිස පැවැති මනෝද්වාරාවර්ජනචිත්තයාගේ සමුදය ප්රඥේන්ද්රියට ප්රත්යය වෙයි. දර්ශනයාගේ වශයෙන් පැවැති ධර්මච්ඡන්දයාගේ සමුදය ප්රඥේන්ද්රියයට ප්රත්යය වෙයි. දර්ශනයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ සමුදය ප්රඥේන්ද්රියට ප්රත්යය වෙයි. ප්රඥේන්ද්රියයාගේ වශයෙන් පැවැති ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටිමි ප්රඥේන්ද්රියට ප්රත්යය වෙයි.