4-1. ප්‍රථම සූත්‍රය
“මා විසින් මෙසේ අසනලද නොහොත් මා ගේ ඇසීම මෙසේ යි. කෙසේ ද යත්: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වාසය කරන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මේ ඉන්‍ද්‍රියසූත්‍රය වදාළ සේක.
මහණෙනි, මේ ඉන්‍ද්‍රියයෝ පස් දෙනෙක. කවර පස්දෙනෙක් ද යත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ ස්‍මෘතීන්‍ද්‍රිය යැ සමාධීන්‍ද්‍රිය යැ ප්‍රඥේන්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පඤ්චේන්‍ද්‍රියයෝ යි.
මේ පඤ්චේන්‍ද්‍රියයෝ කිහි අයුරෙකින් විශුද‍්ධ වෙත් ද යත්: මේ පඤ්චේන්‍ද්‍රියයෝ පසළොස් අයුරෙකින් විශුද්‍ධ වෙති. ශ්‍රද්ධා නැති පුද්ගලයන් දුරැලන්නාහට ශ්‍රද්ධා ඇති පුද්ගලයන් සෙවුනාහට භජනය කරන්නාහට පර්‍ය්‍යුපාසනය කරන්නාහට ප්‍රසාද එළවන සූත්‍රාන්තයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ තුන් අයුරින් ශ්‍රද්ධේන්‍ද්‍රියය විශුද්ධ වෙයි.
කුසීදපුද්ගලයන් දුරැලන්නාහට, ආරබ්ධවීර්‍ය්‍ය පුද්ගලයන් සේවන - භජන - පර්‍ය්‍යුපාසන කරන්නාහට, සම්‍යක්ප්‍රදහනයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ තුන් අයුරින් වීර්ය්‍යේන්‍ද්‍රියය විශුද්ධ වෙයි.
මුළාසිහි ඇති පුද්ගලයන් දුරැලන්නාහට, එළඹසිටි සිහි ඇති පුද්ගලයන් සේවන - භජන - පර්‍ය්‍යුපාන කරන්නාහට, සීවටන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ තුන් අයුරින් ස්මෘතීන්‍ද්‍රියය විශුද්ධ වෙයි.
අසමාහිත පුද්ගලයන් දුරැලන්නාහට, සමාහිතපුද්ගලයන් සේවන - භජන- පර්‍ය්‍යුපාසන කරන්නාහට, ධ්‍යාන - විමෝක්‍ෂයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ තුන් අයුරින්‍ සමාධීන්‍ද්‍රිය විශුද්ධ වෙයි.
ප්‍රඥා නැති පුද්ගලයන් දුරැලන්නාහට, ප්‍රඥා ඇති පුද්ගලයන් සේවන - භජන- පර්‍ය්‍යුපාසන කරන්නාහට, ගම්භීරඥානචර්‍ය්‍යා ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ තුන් අයුරින් ප්‍රඥේන්‍ද්‍රියය විශුද්ධ වෙයි.
මෙසෙයින් මේ පඤ‍්‍වපුද්ගලයන් දුරැලන්නාහට, පඤ‍්‍වපුද්ගලයන් සේවන - භජන - පර්‍ය්‍යුපාසන කරන්නාහට, පඤ්චසූත්‍රාන්තයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ පසළොස් අයුරින් මේ පඤ්චේන්‍ද්‍රියයෝ විශුද්ධ වෙත්.
කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනුලැබෙත් ද කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ භාවනාව වේ ද යත්: දසඅයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනු ලැබෙති. දස අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ භාවනාව වෙයි.
ශ්‍රද්ධා නැති බව දුරැලනුයේ ශ්‍රද්ධේන්‍ද්‍රියය වඩයි. ශ්‍රද්ධේන්‍ද්‍රියය වඩනුයේ ශ්‍රද්ධා නැති බව දුරැලයි. කුසීද බව දුරැලනුයේ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වඩයි. වීර්ය්‍යේන්‍ද්‍රියය වඩනුයේ කුසීද බව දුරැලයි. ප්‍රමාදය දුරැලනුයේ ස්මෘතීන්‍ද්‍රියය වඩයි, ස්මෘතීන්‍ද්‍රියය වඩනුයේ ප්‍රමාදය දුරැලයි. උද්ධතභාවය දුරැලනුයේ සමාධීන්‍ද්‍රියය වඩයි. සමාධීන්‍ද්‍රියය වඩනුයේ උද්ධතභාවය දුරැලයි. අවිද්‍යාව දුරැලනුයේ ප්‍රඥේන්‍ද්‍රියය වඩයි. ප්‍රඥේන්‍ද්‍රියය වඩනුයේ අවිද්‍යාව දුරැලයි.
මේ දස අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනු ලැබෙත්. මේ දස අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ භාවනාව වේ.
කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලද්දාහු මොනවට වඩනා ලද්දාහු වෙත් ද යත්: දස අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු මොනවට වඩනාලද්දාහු වෙති.
ශ්‍රද්‍ධා නැති බව ප්‍රහීණ බැවින් මොනොවට ප්‍රහීණ බැවින් ශ්‍රද්ධේන්‍ද්‍රියය වඩනාලද්දේ මොනොවට වඩනාලද්දේ වෙයි. ශ්‍රද්ධේන්‍ද්‍රියය වඩනාලද බැවින් මොනොවට වඩනාලද බැවින් ශ්‍රද්‍ධා නැති බව ප්‍රහීණ වූයේ මොනොවට ප්‍රහීණ වූයේ වෙයි. කුසීද බව ප්‍රහීණ බැවින් මොනොවට ප්‍රහීණ බැවින් වීර්ය්‍යේන්‍ද්‍රියය වඩනාලද්දේ මොනොවට වඩනා ලද්දේ වෙයි. වීර්ය්‍යේන්‍ද්‍රියය වඩනාලද බැවින් මොනොවට වඩනාලද බැවින් කුසීද බව ප්‍රහීණ වූයේ මොනොවට ප්‍රහීණ වූයේ වෙයි. ප්‍රමාදය ප්‍රහීණ බැවින් මොනොවට ප්‍රහීණ බැවින් ස‍්මෘතීන්‍ද්‍රියය වඩනාලද්දේ මොනොවට වඩනාලද්දේ වෙයි. ස‍්මෘතීන්‍ද්‍රියය වඩනාලද බැවින් මොනොවට වඩනා ලද බැවින් ප්‍රමාදය ප්‍රහීණ වූයේ මොනොවට ප්‍රහීණ වූයේ වෙයි. උද්ධතභාවය ප්‍රහීණ බැවින් මොනොවට ප්‍රහීණ බැවින් සමාධීන්‍ද්‍රියය වඩනා ලද්දේ මොනොවට වඩනාලද්දේ වෙයි. සමාධීන්‍ද්‍රියය වඩනාලද බැවින් මොනොවට වඩනාලද බැවින් උද්ධතභාවය ප්‍රහීණ වූයේ මොනොවට ප්‍රහීණ වූයේ වෙයි. අවිද්‍යාව ප්‍රහීණ බැවින් මොනොවට ප්‍රහීණ බැවින් ප්‍රඥේන්‍ද්‍රියය වඩනාලද්දේ මොනොවට වඩනා ලද්දේ වෙයි. ප්‍රඥේන්‍ද්‍රියය වඩනාලද බැවින් මොනවට වඩනාලද බැවින් අවිද්‍යාව ප්‍රහීණ වූවා මොනොවට ප්‍රහීණ වූවා වෙයි.
මේ දශ අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලද්දාහු මොනොවට වඩනා ලද්දාහු වෙත්.
කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙත් ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙති යත්: සියු අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙති. සියු අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙති.
ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙති. ස්‍රෝතාපත්තිඵලක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙති. සකෘදාගාමි මාර්‍ගක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙති. සකෘදාගාමි ඵලක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙති. අනාගිමීමාර්‍ගක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙති. අනාගාමීඵලක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙති. අර්‍හන්‍මාර්‍ගක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙති. අර්‍හත්ඵලක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙත්.