3-5. සතෝකාරිඥානනිර්දේශය
සතොකාරිහු (සිහි ඇති වැ කරන්නාහු) ගේ දෙතිස් ඥානයෝ කවරහ යත්:
මෙසස්නෙහි මහණ තෙම අරනට ගියේ හෝ රුක්මුලට ගියේ හෝ ශූන්‍යාගාරයට ගියේ හෝ පලක් බැඳ (උඩු) කය ඍජු කොට තබා කමටහනට අභිමුඛ වැ සිහි එළවාතබා හිඳියි. හෙතෙම සිහි ඇති වැ මැ ආශ්වාස කෙරෙයි. සිහි ඇති වැ මැ ප්‍රශ්වාස කෙරෙයි. දික් කොට හෝ ආශ්වාස කරන්නේ දික් කොට ආශ්වාස කෙරෙමී දනියි. දික් කොට හෝ ප්‍රශ්වාස කරන්නේ දික් කොට ප්‍රශ්වාස කෙරෙමී දනියි. ලුහුඬු කොට හෝ ආශ්වාස කරන්නේ ලුහුඬු කොට ආශ්වාස කෙරෙමී දනියි. ලුහුඬු කොට හෝ ප්‍රශ්වාස කරන්නේ ලුහුඬු කොට ප්‍රශ්වාස කෙරෙමී දනියි. සියලු ආශ්වාසප්‍රශ්වාස කය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමී හික්මෙයි. සියලු ආශ්වාසප්‍රශ්වාස කය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමී හික්මෙයි. (ඖදාරික ආශ්වාස ප්‍රශ්වාස සඞ්ඛ්‍යාත) කායසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමී හික්මෙයි. කායසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමී හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කෙරෙමින් ... සුඛය ප්‍රකට කෙරෙමින් ... චිත්තසංස්කාරය (වේදනාසංඥාස්කන්‍ධ) ප්‍රකට කෙරෙමින් ... චිත්තසංස්කාරය සන්හිඳුවමින් ... චිත්තය ප්‍රකට කෙරෙමින් ... සිත සතුටු කෙරෙමින් ... සිත (අරමුණෙහි) සම වැ තබමින් ... සිත (නීවරණයෙන්) මුදමින් ... අනිත්‍යය අනු වැ බලමින් ... විරාගය අනු වැ බලමින් ... නිරෝධය අනු වැ බලමින් ... පටිනිස්සජනය අනු වැ බලමින් ආශ්වාස කරන්නෙමී හික්මෙයි, පටිනිස්සජනය අනු වැ බලමින් ප්‍රශ්වාස කරන්නෙමී හික්මේ.
ඉධ යනු: (බුදුන්ගේ) මේ දෘෂ්ටියෙහි මේ ක්‍ෂාන්තියෙහි මේ රුචියෙහි මේ ග්‍රහණයෙහි මේ ධර්‍මයෙහි මේ විනයෙහි මේ ධර්‍මවිනයෙහි මේ ප්‍රවචනයෙහි මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි මේ ශාස්තෘශානයෙහි යි. එයින් කියනු ලැබෙයි: ‘ඉධ’ යි.
භික්ඛු යනු: පෘථග්ජනකල්‍යාණක මහණ හෝ වෙයි. ශෛක්‍ෂ මහණ හෝ වෙයි. අකෝප්‍ය (අර්‍හත්ඵල) ධර්‍ම ඇති රහතුන් වහන්සේ හෝ වෙත්.
අරඤ්ඤං යනු: ඉන්‍ද්‍රකීලයෙන් නික්ම පිටත්හි තෙල සියල්ල අරණ්‍ය වේ.
රුක්ඛමූලං යනු: යම් රුක්මුලෙකැ මහණහට මැස්සෙක් වේවයි පුටුයෙක් වේවයි බිස්සෙක් වේවයි තට්ටිකායෙක් වේවයි සම්කඩෙක් වේවයි ඇතිරියෙක් වේවයි කොළඇතිරියෙක් වේවයි පිදුරුඇතිරියෙක් වේවයි අසුනෙක් පනවනලද වේ ද, එහි මහණ තෙම සක්මන් කෙරේ හෝ සිටුනේ හෝ හිඳිනේ හෝ ශයනය හෝ කෙරේ.
සුඤ්ඤං යනු: ගිහීන් විසින් හෝ පැවිද්දන් විසින් හෝ කිසිවකු විසින් අනාකීර්‍ණ වූයේ වෙයි.
අගාරං යනු: විහාර යැ ගරුඩාකාරසෙවෙනි ඇති ගේ යැ ප්‍රාසාද යැ සඳලු ඇති ගේ යැ ගුහා යි.
නිසීදති පල්ලඞ්කං ආභුජිත්‍වා යනු: පලක් බැඳ හිඳිනේ වෙයි.
උජුං කායං පනිධාය යනු: කය මොනොවට තබනලද්දේ ඍජු වැ සිටියේ වෙයි.
පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා යනු: පරි යනු: පරිග්‍රාහාර්‍ත්‍ථ යැ, මුඛං යනු: නීර්‍ය්‍යණාර්‍ත්‍ථ යැ, සති යනු: උපස්ථානාර්‍ත්‍ථ යැ, එයින් කියනු ලැබෙයි: ‘පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා’යි.
සතෝව අස්සසති සතෝ පස්සසති: යනු දෙතිස් අයුරින් සිහි ඇති වැ කරනසුලු වෙයි. දික් කොට ආශ්වාස කිරීම් වසයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් සිහි ඇති වැ කරනසුලු වෙයි. දික්කොට ප්‍රශ්වාස කිරීම් වසයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹ සිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් සිහි ඇති වැ කරනසුලු වෙයි. ලුහුඬු කොට ආශ්වාස කිරීම් වසයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹ සිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් සිහි ඇති වැ කරනසුලු වෙයි. ලුහුඬු කොට ප්‍රශ්වාස කිරීම් වසයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹ සිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් සිහි ඇති වැ කරනසුලු වෙයි. ... පටිනිස්සජනය අනු වැ දක්නේ ආශ්වාස කිරීම් වසයෙන් ... පටිනිස්සජනය අනු වැ දක්නේ ප්‍රශ්වාස කිරීම් වසයෙන්‍ චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් සිහි ඇති වැ කරනසුලු වේ.
කිසෙයින් දික් කොට ආශ්වාස කරන්නේ දික් කොට ආශ්වාස කෙරෙමී දනී ද, දික් කොට ප්‍රශ්වාස කරන්නේ දික්කොට ප්‍රශ්වාස කෙරෙමී දනී ද යත්: දීර්‍ඝ වූ ආශ්වාසය දීර්‍ඝකාලයෙහි ආශ්වාස කෙරෙයි. දීර්‍ඝ වූ ප්‍රශ්වාසය දීර්‍ඝකාලයෙහි ප්‍රශ්වාස කෙරෙයි. දීර්‍ඝ ආශ්වාසප්‍රශ්වාසය දීර්‍ඝකාලයෙහි ආශ්වාස ද කෙරෙයි, ප්‍රශ්වාස ද කෙරෙයි. දීර්‍ඝ වූ ආශ්වාසප්‍රශ්වාස දීර්‍ඝකාලයෙහි ආශ්වාස කරන්නාහට ද ප්‍රශ්වාස කරන්නාහට ද ඡන්‍දය උපදියි.