කායෝ යනු: දෙ කයෙකි: නාමකය ද රූපකය දැ යි. නාමකය කවරෙ යත්: වේදනා යැ සංඥා යැ චේතනා යැ ස්පර්‍ශ යැ මනසිකාර යි. නාමය ද නාමකාය ද යම් ධර්‍ම කෙනෙක් චිත්තසංස්කාරයහ යි කියනු ලැබෙත් නම් ඔහු දැ යි මේ නාමකය නම් වෙයි. රූපකාය කවරෙ යත්: සතර මහාභූත යැ සතර මහාභූතයන් නිසා පවත්නා රූප යැ ආශ්වාස යැ ප්‍රශ්වාස යැ නිමිත්ත යැ උපනිබන්‍ධනා (ආශ්වාසප්‍රශ්වාසයන් ස්පර්‍ශ කරන තැන) යැ, යම් ධර්‍ම කෙනෙක් කායසංස්කාරයහ’යි කියනු ලැබෙත් නම් ඔහු යැ යන මේ රූපකාය නමි.
කිසෙයින් ඒ (ආශ්වාසප්‍රශ්වාස) කායයෝ දන්නාලද්දාහු වෙත් ද යත්: දික් කොට ආශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟබව වූ අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ කායයෝ දන්නාලද්දාහු වෙති. දික් කොට ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟබව වූ අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ කායයෝ දන්නාලද්දාහු වෙති. ලුහුඬු කොට ආශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟබව වූ අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ කායයෝ දන්නාලද්දාහු වෙති. ලුහුඬු කොට ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟබව වූ අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ කායයෝ දන්නා ලද්දාහු වෙත්.
ආවර්‍ජනා කරන්නාහට ඒ (ආශ්වාසප්‍රශ්වාස) කායයෝ ප්‍රකට වූවාහු වෙති. දන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. දක්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. චිත්තය අධිෂ්ඨාන කරන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. ශ්‍රද්ධායෙහි අධිමුක්තයහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. වීර්‍ය්‍යය දැඩි කොට ගන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. සිහි එළවන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. සිත (අරමුණෙහි) පිහිටුවන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. ප්‍රඥායෙන් දන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. ස්වලක්‍ෂණ විසින් දතයුත්ත ස්වලක්‍ෂණ විසින් දන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. සාමාන්‍යලක්‍ෂණ විසින් දතයුත්ත සාමාන්‍ය ලක්‍ෂණ විසින් දන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. ප්‍රහාතව්‍යය ප්‍රහාණය කරන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. සාක්‍ෂාත්කර්‍තවය්‍ය සාක්‍ෂාත් කරන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. මෙසෙයින් ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙත්.
සියලු ආශ්වාසප්‍රශ්වාසකය ප්‍රකට කරන්නා වූ ආශ්වාසප්‍රශ්වාසයෝ කාය නම. (ආශ්වාසප්‍රශ්වාසයන්ට) එළඹ සිටීම ස්මෘති නම. අනුපස්සනාව ඥාන නම කය උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ කය අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘කායේ කායානුපස්සනාසතිපට්ඨානභාවනා’යි.
අනුපස්සති යනු: කිසෙයින් ඒ කය අනුපස්සනා කෙරේ ද යත් ... මෙසෙයින් ඒ කය අනුපස්සනා කෙරේ. භාවෙති යනු: භාවනා සතරෙකි ... ආසේවන ස්වභාවයෙන් භාවනා යි. සියලු ආශ්වාසප්‍රශ්වාස කය ප්‍රකට කරන්නා වූ ආශ්වාසප්‍රශ්වාසයන් ගේ සංවරස්භාවයෙන් ශීලවිශුද්ධි යැ අවික්‍ෂේපස්වභාවයෙන් චිත්තවිශුද්ධි යැ දර්‍ශන ස්වභාවයෙන් දෘෂ්ටිවිශුද්ධි යි. එහි යම් සංවරස්භාවයෙක් වේ ද මේ අධිශීලශික්‍ෂා යැ. එහි යම් අවික්‍ෂේපස්වභාවයෙක් වේ ද මේ අධිචිත්තශික්‍ෂා යැ. එහි යම් දර්‍ශනස්වභාවයෙක් වේ ද මේ අධිප්‍රඥාශික්‍ෂා යි. මේ තුන් ශික්‍ෂාවන් ආවර්‍ජනා කෙරෙමින් හික්මෙයි, දනිමින් හික්මෙයි, දකිමින් හික්මෙයි, ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් හික්මෙයි, අධිෂ්ඨාන කෙරෙමින් හික්මෙයි, ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙමින් හික්මෙයි, වීර්‍ය්‍යය දැඩි කොට ගනිමින් හික්මෙයි, සිහි එළවමින් හික්මෙයි, සිත (අරමුණෙහි) පිහිටුවමින් හික්මෙයි, ප්‍රඥායෙන් ප්‍රජානනය කෙරෙමින් හික්මෙයි, ස්වලක්‍ෂණ විසින් දතයුත්ත ස්වලක්‍ෂණ විසින් දනිමින් හික්මෙයි, සාමාන්‍ය ලක්‍ෂණ විසින් දතයුත්ත සාමාන්‍ය ලක්‍ෂණ විසින් දනිමින් හික්මෙයි, ප්‍රහාතව්‍යය ප්‍රහාණය කෙරෙමින් හික්මෙයි, භාවිතව්‍යය භාවනා කෙරෙමින් හික්මෙයි,සාක්‍ෂාත් කර්‍තව්‍යය සාක්‍ෂාත් කෙරෙමින් හික්මේ.
සියලු ආශ්වාසප්‍රශ්වාස කය ප්‍රකට කරන්නා වූ ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ එකඟබව යයි කියනලද අවික්‍ෂේපය දන්නාහට ප්‍රකට වූ වේදනාවෝ උපදිති ... සියලු ආශ්වාසප්‍රශ්වාස කය ප්‍රකට කරන්නා වූ ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ එකඟබව යයි කියන ලද අවික්‍ෂේපය දැනගන්නේ ඉන්‍ද්‍රියයන් සමෝධානය කෙරෙයි ... එයින් කියනු ලැබෙයි: “සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි. (3)
කිසෙයින් ‘කායසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘කායසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්:
කායසංස්කාර කවරෙ යත්: රූපකයෙහි උපන් දීර්‍ඝ යයි කියන ලද ආශ්වාස කෙනෙක් වෙත් ද තෙල ධර්‍මයෝ කය පිළිබඳ වූවාහු කායසංස්කාර නම් වෙති. ඒ කායසංස්කාරයන් සන්හිඳුවමින් නිරුද්ධ කෙරෙමින් ව්‍යුපශමනය කෙරෙමින් හික්මෙයි. රූපකයෙහි උපන් දීර්‍ඝ යයි කියන ලද ප්‍රශ්වාස කෙනෙක් වෙත් ද තෙල ධර්‍මයෝ කය පිළිබඳ වූවාහු කායසංස්කාර නම් වෙති. ඒ කායසංස්කාරයන් සන්හිඳුවමින් නිරුද්ධ කෙරෙමින් ව්‍යුපශමනය කෙරෙමින් හික්මෙයි. හ්‍රස්ව යයි කියන ලද ආශ්වාසයෝ ... හ්‍රස්ව යයි කියනලද ප්‍රශ්වාසයෝ ... සියලු ආශ්වාසප්‍රශ්වාස කය ප්‍රකට කරන්නා වූ ආශ්වාසයෝ ... සියලු ආශ්වාසප්‍රශ්වාස කය ප්‍රකට කරන්නා වූ කායික ප්‍රශ්වාස කෙනෙක් වෙත් ද තෙල ධර්‍මයෝ කය පිළිබඳ වූවාහු කායසංස්කාර නම් වෙති. ඒ කායසංස්කාරයන් සන්හිඳුවමින් නිරුද්ධ කෙරෙමින් ව්‍යුපශමනය කෙරෙමින් හික්මෙයි.