3-4. ව්යවදානඥාන
තෙළෙස් ව්යවදානඥානයෝ කවරහ යත්: අතීතය ලුහුබඳනා වික්ෂේපය අනු වැ ගිය සිතෙක් වේ ද, එය හැරපියා (ආශ්වාසප්රශ්වාසයන් අතුරෙන්) එක්තැනෙක පිහිටුවයි. මෙසේත් සිත වික්ෂේපයට නො යෙයි. අනාගතය ප්රාර්ත්ථනා කරන වෙසෙසින් කම්පිත වූ සිතෙක් වේ ද, එය හැරපියා එහි මැ සනිටුහන් කෙරෙයි. මෙසේ ත් සිත වික්ෂේපයට නො යෙයි. ලීන වූ කෞසීද්යය අනු වැ ගිය සිතෙක් වේ ද, එය ප්රග්රහණය කොට කෞසීද්යය දුරු කෙරෙයි, මෙසේ ත් සිත වික්ෂේපයට නො යෙයි. ඉතා දැඩි කොට ගන්නා ලද ඖද්ධත්යය අනු වැ ගිය සිතෙක් වේ ද, එය නිග්රහ කොට ඖද්ධත්යය දුරු කෙරෙයි, මෙසේ ත් සිත වික්ෂේපයට නො යෙයි. වෙසෙසින් නැමුණ රාගය අනු වැ ගිය සිතෙක් වේ ද, එය සම්යග්ඥාන ඇති වැ ඒ රාගය දුරු කෙරෙයි, මෙසේත් සිත වික්ෂේපයට නො යෙයි. නතු නො වූ ව්යාපාදයට අනු වැ ගිය සිතෙක් වේ ද, සම්යග්ඥාන ඇති වැ ඒ ව්යාපාදය දුරු කෙරෙයි. මෙසේත් සිත වික්ෂේපයට නො යෙයි. මේ සකරුණින් පිරිශුද්ධ වූ සිත ප්රභාස්වර වූයේ ඒකත්වයට ගියේ වේ.
ඒ ඒකත්වයෝ කවරහ යත්: දානවස්තුපරිත්යාගයාගේ එළඹසිටීමෙන් වූ ඒකත්ව යැ. ශමථනිමිත්ත එළඹසිටීමෙන් වූ ඒකත්ව යැ. භඞ්ගලක්ෂණය එළඹසිටීමෙන් වූ ඒකත්ව යැ නිරෝධය එළඹසිටීමෙන් වූ ඒකත්ව යයි.
දානවස්තුපරිත්යාගයාගේ එළඹසිටීමෙන් වු ඒකත්වය දානයෙහි අධිමුක්තයනට වෙයි. විදර්ශනාපාදකසමාධිය අනු වැ යෙදුණවුනට ශමථනිමිත්ත එළඹසිටීමෙන් වූ ඒකත්වය ද විදර්ශකයනට භඞ්ගලක්ෂණය එළඹසිටීමෙන් වූ ඒකත්වය ද ආර්ය්යපුද්ගලයනට නිරෝධය එළඹසිටීමෙන් වූ ඒකත්වය ද වෙයි. මේ සතර කරුණින් ඒකත්වයට ගිය සිත ප්රතිපද්විශුද්ධියට පිවිසියේ ද වෙයි. උපේක්ෂායෙන් වඩනලද්දේත් ඥානයෙන් විශෝධිත වූයේත් වේ.
ප්රථමධ්යානයාගේ ආදිය කවරෙ යැ මධ්යය කවරෙ යැ පර්ය්යවසානය කවරෙ යත්: ප්රතිපද්විශුද්ධිය ප්රථමධ්යානයාගේ ආදි යැ උපේක්ෂානුබ්රෑහණය මධ්ය යැ සම්ප්රහර්ෂණය පර්ය්යවසාන යි.
ප්රතිපද්විශුද්ධිය ප්රථමධ්යානයාගේ ආදි යැ. ආදිහුගේ ලක්ෂණ කෙතෙක් ද යත්: ආදිහුගේ ලක්ෂණ තුනෙකි. යමෙක් ඒ ප්රථමධ්යානයට පරිපන්ථ වේ නම් එයින් සිත විශුද්ධ වෙයි. විශුද්ධ බැවින් සිත මධ්යමශමථනිමිත්තට (අර්පණාසමාධියට) පැමිණෙයි. පිළිපන් බැවින් එහි සිත පිවිසෙයි. පරිපන්ථයෙන් යම් චිත්තවිශුද්ධියකුත් වේ ද විශුද්ධ බැවින් චිත්තය මධ්යමශමථනිමිත්තට යම් බැසගැනීමකුත් වේ ද පිළිපන් බැවින් එහි යම් සිත පිවිසගැනීමකුත් වේ ද, ප්රතිපද්විශුද්ධිය ප්රථමධ්යානයාගේ ආදි යැ ආදිහුගේ මේ තුන් ලක්ෂණයෝ වෙති. එයින් කියනු ලැබෙයි. ‘ප්රථමධ්යානය ආදිකල්යාණ ද ලක්ෂණසම්පන්න ද වේ යයි.
උපේක්ෂානුබ්රෑහණය ප්රථමධ්යානයාගේ මධ්යය වෙයි. මධ්යයාගේ ලක්ෂණ කෙතෙක් ද යත්: මධ්යයාගේ ලක්ෂණ තුනෙකි. විශුද්ධ සිත අධ්යුපේක්ෂා කෙරෙයි. ශමථයට පිළිපන් සිත අධ්යුපේක්ෂා කෙරෙයි. ඒකත්වයෙන් එළඹසිටි සිත අධ්යුපේක්ෂා කෙරෙයි. යම් විශුද්ධ සිතක් අධ්යුපේක්ෂා කෙරේ ද යම් ශමථයට පිළිපන් සිතක් අධ්යුපේක්ෂා කෙරේ ද, යම් ඒකත්වයෙන් එළඹ සිටි සිත අධ්යුපේක්ෂා කෙරේ ද. ඒ උපේක්ෂානුබ්රෑහණය ප්රථමධ්යානයාගේ මධ්යය වෙයි. මධ්යයාගේ මේ තුන් ලක්ෂණයෝ වෙති. එයින් කියනු ලැබෙයි. ‘ප්රථමධ්යානය මධ්යකල්යාණ ද ලක්ෂණසම්පන්න ද වේ’ යයි.
සම්ප්රහර්ෂණය ප්රථමධ්යානයාගේ පර්ය්යවසානය වෙයි. පර්ය්යවසානයාගේ ලක්ෂණ කෙතෙක් ද යත්: පර්ය්යවසානයාගේ ලක්ෂණ සතරෙකි. ඒ භාවනාවිශේෂයෙහි උපන් (සමාධිප්රඥා සඞ්ඛ්යාත යුගනද්ධ) ධර්මයන් (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් සම්ප්රහර්ෂණ යැ (ශ්රද්ධාදි) ඉන්ද්රියයන්ගේ ඒකකෘත්යභාවයෙන් සම්ප්රහර්ෂණ යැ තදනුච්ඡවිකවීර්ය්යධුර ස්වභාවයෙන් සම්ප්රහර්ෂණ යැ ආසේවන ස්වභාවයෙන් සම්ප්රහර්ෂණ යි සම්ප්රහර්ෂණය ප්රථමධ්යානයාගේ පර්ය්යවසානය වෙයි. පර්ය්යවසානයාගේ මේ සතර ලක්ෂණයෝ වෙති. එයින් කියනු ලැබෙයි. ‘ප්රථමධ්යානය පර්ය්යවසානකල්යාණ ද ලක්ෂණසම්පන්න ද වේ’ යයි.
මෙසෙයින් ත්රිවිධභාවයට ගිය සිත ත්රිවිධකල්යාණ ඇත්තේ දශලක්ෂණසම්පන්න වූයේ විතර්කසම්පන්න ද විචාරසම්පන්න ද ප්රීතිසම්පන්න ද සුඛසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ශ්රද්ධාසම්පන්න ද වීර්ය්යසම්පන්න ද ස්මෘතිසම්පන්න ද සමාධිසම්පන්න ද ප්රඥාසම්පන්න ද වේ.
ද්විතීයධ්යානයාගේ ආදිය කවරෙ යැ මධ්යය කවරෙ යැ පර්ය්යවසානය කවරෙ යැ යත්: ප්රතිපද්විශුද්ධිය ද්විතීයධ්යානයාගේ ආදි යැ. උපේක්ෂානුබ්රෑහණය මධ්ය යැ සම්ප්රහර්ෂණය පය්යවසාන යි ... මෙසෙයින් ත්රිවිධභාවයට ගිය සිත ත්රිවිධකල්යාණ ඇත්තේ දශලක්ෂණසම්පන්න වූයේ ප්රීතිසම්පන්න ද සුඛසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ශ්රද්ධාසම්පන්න ද වීර්ය්යසම්පන්න ද ස්මෘතිසම්පන්න ද සමාධිසම්පන්න ද ප්රඥාසම්පන්න ද වේ.
තෘතියධ්යානයාගේ ආදිය කවරෙ යැ මධ්යය කවරෙ යැ පර්ය්යවසානය කවරෙ යැ යත්: … මෙසෙයින් ත්රිවිධභාවයට ගිය සිත ත්රිවිධකල්යාණ ඇත්තේ දශලක්ෂණසම්පන්න වූයේ සුඛසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ශ්රද්ධාසම්පන්න ද වීර්ය්යසම්පන්න ද ස්මෘතිසම්පන්න ද සමාධිසම්පන්න ද ප්රඥාසම්පන්න ද වේ.