යම්සේ සම වූ භූමිභාගයෙහි රෝපණය කරන ලද වෘක්‍ෂයෙක් වේ ද, ඒ මේ වෘක්‍ෂය පුරුෂයෙක් තෙම කියතින් සිඳුනේ නම් වෘක්‍ෂයෙහි ස්පර්‍ශ කරන ලද කියත්දත් වශයෙන් පුරුෂයාගේ සිහිය එළඹසිටියා වෙයි. (වෘක්‍ෂය ස්පර්‍ශ කොට තමා වෙතට) ආවා වූ හෝ (වෘක්‍ෂය ස්පර්‍ශ කොට පරභාගයට) ගියා වූ හෝ කියත්දත් නො මෙනෙහි කෙරෙයි. ආවා වූ හෝ ගියා වූ හෝ කියත්දත් නො දන්නා ලද්දාහු නො වෙති, ප්‍රදහන ද පැනෙයි, ප්‍රයෝගය ද සාධයි. සම වූ භූමිභාගයෙහි රෝපණය කරනලද වෘක්‍ෂය යම්බඳු ද උපනිබන්‍ධනා (ස්මෘති) නිමිත්ත එබඳු යැ කියත් දත් යම් බඳු ද ආශ්වාසප්‍රශ්වාසයෝ එබඳු යැ. යම්සේ වෘක්‍ෂයෙහි ස්පර්‍ශ කරන ලද කියත්දත් වශයෙන් පුරුෂයාගේ ස්මෘතිය එළඹසිටියා වේ ද ආගිය කියත්දත් නො මෙනෙහි කෙරේ ද ආගිය කියත්දත් නොදන්නාලද්දාහු නො වෙත් ද ප්‍රදහනත් පැනේ ද ප්‍රයෝගයත් සාදා ද, එසෙයින් මැ මහණ තෙම නාසිකාග්‍රයෙහි හෝ මුඛනිමිත්තෙහි හෝ සිහි එළවා හුන්නේ වෙයි. ආවා වූ හෝ ගියා වූ හෝ ආශ්වාසප්‍රශ්වාසයන් නො දන්නාලද්දාහු නො වෙති, ප්‍රදහන ද පැනෙයි, ප්‍රයෝග ද සාධයි, විශේෂයට (මාර්‍ගයට) පැමිණේ.
පධානං යනු: ප්‍රදහන යනු කවරෙ යත්: ආරබ්ධවීර්‍ය්‍යය ඇත්තහුගේ කයත් සිතත් කර්‍මණ්‍ය වෙයි. මේ ප්‍රදහන වෙයි. ප්‍රයෝග කවරෙ යත්: ආරබ්ධවීර්‍ය්‍ය ඇත්තහුගේ උපක්ලේශයෝ ප්‍රහීණ වෙති. විතර්‍කයෝ සන්හිඳෙත්. මේ ප්‍රයෝගය වෙයි. විශේෂ කවරෙ යත්: ආරබ්ධවීර්‍ය්‍ය ඇත්තහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙති. අනුශයයෝ විගත වෙත්. මේ විශේෂය වෙයි.
මෙසෙයින් මේ තුන් ධර්‍මයෝ එක් සිතට අරමුණු නො වෙති. මේ තුන් ධර්‍මයෝ නො දන්නාලද්දාහු නො ද වෙති. සිත වික්‍ෂේපයට නො ද යෙයි. ප්‍රදහන ද පැනෙයි. ප්‍රයෝගය ද සාධයි. විශේෂයට පැමිණේ.
යමක්හු විසින් ආනාපානස්මෘතිය බුදුන් වදාළ සෙයින් පරිපූර්‍ණ වූවා මොනොවට වඩනලද ද පිළිවෙළින් ප්‍රගුණ කරන ලද ද හෙතෙම වලායෙන් මිදුණු සඳ සෙයින් මෙලොව දීප්ත කෙරේ. (3)
ආන යනු. ආශ්වාස යැ ප්‍රශ්වාසය නො වෙයි. අපාන යනු: ප්‍රශ්වාස යැ ආශ්වාසය නො වෙයි, ආශ්වාස වශයෙන් එළඹසිටීම ස්මෘති යැ, ප්‍රශ්වාස වශයෙන් එළඹ සිටීම ස්මෘති යි. යමෙක් ආශ්වාස කෙරේ ද ඔහුගේ සිහිය ආශ්වාසයට එළඹසිටියි. යමෙක් ප්‍රශ්වාස කෙරේ ද ඔහුගේ සිහිය ප්‍රශ්වාසයට එළඹසිටී.
පරිපුණ්ණා යනු: පරිග්‍රහස්වභාවයෙන් පරිපූර්‍ණ යැ පරිවාරස්වභාවයෙන් පරිපූර්‍ණ යැ (භාවනා) පරිපූර ස්වභාවයෙන් පරිපූර්‍ණ යි.
සුභාවිතා යනු: භාවනා සතරෙකි: ඒ භවානා විශෙෂයෙහි උපන් (සමාධි - ප්‍රඥා සඞ්ඛ්‍යාත යුගනද්ධ) ධර්‍මයන් (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් භාවනා යැ, ඉන්‍ද්‍රියයන්ගෙන් ඒකකෘත්‍යස්වභාවයෙන් භාවනා යැ තදනුච්ඡික වීර්‍ය්‍යධූර ස්වභාවයෙන් භාවනා යැ. ආසේවන ස්වභාවයෙන් භාවනා යි. ඔහු විසින් මේ සතර භාවනාර්‍ත්‍ථයෝ යුක්තයානයක් මෙන් කරනලද්දාහු (ප්‍රතිෂ්ඨාර්‍ත්‍ථයෙන්) වාස්තුවක් මෙන් කරනලද්දාහු එළඹසිටියාහු හාත්පසින් රැස්කරන ලද්දාහු මොනොවට කරන ලද්දාහු වෙත්.
යානීකතා යනු:යම් යම් ධ්‍යානවිදර්‍ශනායෙක් හි කැමැති වේ නම් ඒ ඒ ධ්‍යානවිදර්‍ශනායෙහි වශයට පැමිණියේ බලයට පැමිණියේ විශාරද බවටපැමිණියේ වෙයි. ඔහුගේ ඒ (ශමථවිදර්‍ශනා) ධර්‍මයෝ ආවර්‍ජනප්‍රතිබද්ධ වූවාහු ආකාඞ්ක්‍ෂාප්‍රතිබද්ධ වූවාහු මනසිකාරප්‍රතිබද්ධ වූවාහු චිත්තෝත්පාද ප්‍රතිබද්ධ වූවාහු වෙත්. එයින් කියනු ලැබෙයි: ‘යානීකතා’ යි.
වත්‍ථුකථා යනු: යම් යම් වස්තුයෙකැ සිත මොනොවට පිහිටියේ වේ ද ඒ ඒ වස්තුයෙහි සිහි එළඹසිටියා වෙයි. තවද යම් යම් වස්තුයෙකැ සිහි එළඹසිටියා වේ ද ඒ ඒ වස්තුයෙහි සිත මොනොවට පිහිටියේ වෙයි. එයින් කියනු ලැබෙයි. ‘වත්‍ථුකථා’ යි.
අනුට්ඨිතා යනු: යම් යම් භාවනාවිශේෂයෙක්හි සිත එළවා ද ඒ ඒ භාවනාවිශේෂයෙහි සිහිය අනුකූල වැ පවතී. තවද යම් යම් භාවනාවිශේෂයෙක්හි සිහිය අනුකූල වැ පෙරළේ ද ඒ ඒ භාවනාවිශේෂයෙහි සිත එළවයි. එයින් කියනු ලැබෙයි ‘අනුට්ඨිතා’ යි.