3-3. උපක්ලේශඥාන
තවද මේ නීවරණයන් කෙරෙන් (උපචාරභූමියෙහි) විශුද්ධ වූ සිත් ඇති, ෂෝඩශවස්තුක ආනාපානස්මෘතිය වඩන්නහුට ක්ෂණිකසමවධානය (උපක්ලේශසමාගමය) හේතුකොටගෙන කවර අටළොස් උපක්ලේශයෝ උපදනාහු ද යත්:
ආශ්වාසයාගේ ආදි-මධ්ය-පර්ය්යවසානය සිහියෙන් අනුව යන්නහුගේ අධ්යාත්මයෙහි වික්ෂේපයට ගිය සිත සමාධියට උවදුරෙක. ප්රශ්වාසයාගේ ආදි-මධ්ය-පර්ය්යවසානය සිහියෙන් අනුව යන්නහුගේ වාහ්යායතනයෙහි වික්ෂේපයට ගිය සිත සමාධියට උවදුරෙක. ආශ්වාසය පිළිබඳ ප්රාර්ත්ථනා සඞ්ඛ්යාත නිකාමය වූ තෘෂ්ණාවගේ පැවැත්ම සමාධියට උවදුරෙක. ප්රශ්වාසය පිළිබඳ ප්රාර්ත්ථනා සඞ්ඛ්යාත නිකාමනය වූ තෘෂ්ණාවගේ පැවැත්ම සමාධියට උවදුරෙක. ආශ්වාසයෙන් පෙළුණහුගේ ප්රශ්වාසප්රතිලාභයෙහි ඇලීම සමාධියට උවදුරෙකි. ප්රශ්වාසයෙන් පෙළුණහුගේ ආශ්වාසප්රතිලාභයෙහි ඇලීම සමාධියට උවදුරෙකි.
ආශ්වාසය අනුව යන්නා වූ අධ්යාත්මවික්ෂේපයට හේතු වූ ස්මෘතිය ද, ප්රශ්වාසය අනුව යන්නා වූ බාහ්යවික්ෂෙපයට හේතු වූ ස්මෘතිය ද, අධ්යාත්මවික්ෂේපය (ආශ්වාසය) පිළිබඳ ප්රාර්ත්ථනාව ද, බාහ්යවික්ෂෙපය (ප්රශ්වාසය) පිළිබඳ ප්රාර්ත්ථනාව ද (1)
ආශ්වාසයෙන් මඩනාලද්දහුගේ ප්රාශ්වාසප්රතිලාභයෙහි ඇලීම ද, ප්රශ්වාසයෙන් මඩනාලද්දහුගේ ආශ්වාසප්රතිලාභයෙහි ඇලීම ද, යන (2)
මොහු සදෙන ආනාපානස්මෘතිසමාධියට උපක්ලේශ වෙති. යම් උපක්ලේශ කෙනකුන් විසින් වික්ෂේපයට පමුණුවනුලබන්නහුගේ සිත (කෙලෙසුන් කෙරෙන්) නො මිදේ නම් (ආශ්වාසප්රශ්වාසාලම්බනයෙහි ද) නො බැඳේ නම් ඔහු යැ. විමෝක්ෂය නො දන්නා වූ ඔහු පරප්රත්යයට (මෙරමා හැදහීමට) සුදුසු වෙත්. (3)
ප්රථම ෂට්කය යි.
(ආශ්වාස) නිමිත්ත ආවර්ජනා කරන්නාහට ආශ්වාසයෙහි සිත සැලෙයි. ඒ සමාධියට උවදුරෙක. ආශ්වාසය ආවර්ජනා කරන්නාහට නිමිත්තයෙහි සිත සැලෙයි. ඒ සමාධියට උවදුරෙක. (ප්රශ්වාස) නිමිත්ත ආවර්ජනා කරන්නාහට ප්රශ්වාසයෙහි සිත සැලෙයි, ඒ සමාධියට උවදුරෙක. ප්රශ්වාසය ආවර්ජනා කරන්නාහට නිමිත්තයෙහි සිත සැලෙයි, ඒ සමාධියට උවදුරෙකි. ආශ්වාසය ආවර්ජනා කරන්නාහට ප්රශ්වාසයෙහි සිත සැලෙයි, ඒ සමාධියට උවදුරෙක . ප්රශ්වාසය ආවර්ජනා කරන්නාහට ආශ්වාසයෙහි සිත සැලෙයි. ඒ සමාධියට උවදුරෙකි.
නිමිත්ත ආවර්ජනා කරන්නහුගේ සිත ආශ්වාසයෙහි විසිරෙයි. ආශ්වාසය ආවර්ජනා කරන්නහුගේ සිත නිමිත්තයෙහි සැලෙයි. (4)
නිමිත්ත ආවර්ජනා කරන්නහුගේ සිත ප්රශ්වාසයෙහි විසිරෙයි. ප්රශ්වාසය ආවර්ජනා කරන්නහුගේ සිත නිමිත්තයෙහි සැලෙයි. (5)
ආශ්වාසය ආවර්ජනා කරන්නහුගේ සිත ප්රශ්වාසයෙහි විසිරෙයි. ප්රශ්වාසය ආවර්ජනා කරන්නහුගේ සිත ආශ්වාසයෙහි සැලෙයි. (6)
මොහු සදෙන ආනාපානස්මෘතිසමාධියට උපක්ලේශ වෙති. යම් උපක්ලේශ කෙනකුන් විසින් වික්ෂේපයට පමුණුවනුලබන්නහුගේ සිත (කෙලෙසුන් කෙරෙන්) නො මිදේ නම් (ආශ්වාසප්රශ්වාසාලම්බනයෙහි ද) නො බැඳේ නම් ඔහු යැ විමෝක්ෂය නො දන්නා වූ ඔහු පරප්රත්යයට සුදුසු වෙත්. (7)
ද්විතීය ෂට්කය යි.