2-15, 2-16. භව - විභව දෘෂ්ටි
(ශාශ්වතසංඥා හෙයින් නිර්‍වාණයෙන් සිත) හැකිළීමෙහි අභිනිවේශය භවදෘෂ්ටි නම. (උච්ඡේදසංඥා හෙයින් නිරොධගාමිනීප්‍රතිපදායෙහි) අතිධාවනයෙහි අභිනිවේශය විභවදෘෂ්ටි නමි. ආස්වාදදෘෂ්ටියෙහි පන්තිස් අයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටීහු කෙතෙක් ද, විභවදෘෂ්ටීහු කෙතෙක් ද, ආත්මානුදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටීහු කෙතෙක් ද, විභවදෘෂ්ටීහු කෙතෙක් ද, ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි අටඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටීහු කෙතෙක් ද, විභව දෘෂ්ටීහු කෙතෙක් ද යත්:
ආස්වාදදෘෂ්ටියෙහි පන්තිස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. ආත්මානුදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටි පසළොසෙක, විභවදෘෂ්ටි පසෙකි. මිථ්‍යාදෘෂ්ටියෙහි දසඅයුරෙකින් අභිනිවේශය වෙයි. එ හැම විභවදෘෂ්ටීහු වෙති සත්කායදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටි පසළොසෙක, විභවදෘෂ්ටි පසෙකි. සත්කායවස්තුකශාශ්වතදෘෂ්ටියෙහි පසළොස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එ හැම භවදෘෂ්ටි වෙයි. සත්කායවස්තුකඋච්ඡේදදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම විභවදෘෂ්ටීහු වෙති.
“ලෝකය ශාශ්වත යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම භවදෘෂ්ටීහු යැ. “ලෝකය අශාශ්වත යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම විභව දෘෂ්ටීහු යැ. “ලෝකය අන්ත ඇත්තේ යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරින් අභිනිවේශය භවදෘෂ්ටි හු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. “ලෝකය අන්ත නැත්තේ යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරින් අභිනිවේශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. “හෙ මැ ජීව යැ හෙ මැ ශරීර යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම විභවදෘෂ්ටීහු යැ. “ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම භවදෘෂ්ටීහු යැ. “සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යමාන වෙයි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම භවදෘෂ්ටීහු යැ. “සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යමාන නො වෙයි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම විභවදෘෂ්ටීහු යැ. “‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි වන්නේත් නො වන්නේත් වෙයි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. “සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වෙයි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරින් අභිනිවේශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහු යැ.
පූර්‍වාන්තානුදෘෂ්ටියෙහි අටළොස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටිහු ද වන්නාහ. අපරාන්තානුදෘෂ්ටියෙහි සියුසාලිස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටිහු ද වන්නාහ. සංයෝජනිකදෘෂ්ටියෙහි අටළොස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටිහු ද වන්නාහ. “මම” යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අටළොස් අයුරින් අභිනිවේශය වෙයි. එ හැම විභවදෘෂ්ටිහු යැ. “මාගේ යැ”යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අටළොස් අයුරෙකින් අභිනිවේශය වෙයි. එ හැම භවදෘෂ්ටිහු යැ ආත්මවාද ප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටි පසළොසෙක. විභවදෘෂ්ටි පසෙකි. ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි අට අයුරින් අභිනිවේශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහු ය.
එහැම දෘෂ්ටිහු ආස්වාද දෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු ආත්මානුදෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු මිථ්‍යාදෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු සත්කායදෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු අන්තග්‍රාහිකදෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු සංයොජනික දෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු ආත්මවාදප්‍රතිසංයුක්ත දෘෂ්ටි වෙත්.
“තාර්කිකයෝ තුමූ භවදෘෂ්ටිය ද, විභවදෘෂ්ටිය ද යන මෙ දෙක ඇසුරු කළාහු වෙති. යම් කරුණෙකින් මේ ලෝවැසි තෙම යම් නිරෝධ සුඛයෙක්හි විපරීතසංඥා ඇත්තේ ද, ඔවුනට ඒ නිරෝධයෙහි ඥානයෙක් නැද්ද එහෙයිනි.”
“මහණෙනි, ද්විවිධ දෘෂ්ටිගතයන් විසින් සමුදාචාරයට පත් දෙවිමිනිස්සු ඇතැම් කෙනෙක් ඔලීයන (ශාශ්වත සංඥා හෙයින් නිර්‍වාණයෙන් හැකිළීම) කෙරෙති. ඇතැම් කෙනෙක් (උච්ඡේද හෙයින් නිරොධගාමිනීප්‍රතිපදායෙහි) අතිධාවන කෙරෙත්. නුවණැස් ඇත්තාහු මැ දකිත්.
මහණෙනි, කිසෙයින් ඇතැම් කෙනෙක් ඔලීයන කෙරෙති යත් මහණෙනි, දෙවිමිනිස්සු භවය අභිරමණස්ථානය කොට ඇත්තාහු යැ. භවයෙහි ඇලුණාහු යැ, භවයෙන් සතුටු වූවාහු යැ. භවනිරෝධය පිණිස දහම් දෙසනු ලබන කල්හි ඔවුන්ගේ සිත (ධර්‍මදේශනාවට හෝ භව නිරෝධයට) නො පිවිසෙයි. නො පහදී. නො පිහිටයි. අධිමුක්ත නො වේ. මහණෙනි, මෙසෙයින් ඇතැම් කෙනෙක් ඔලීයන කෙරෙත්.
මහණෙනි, කිසෙයින් ඇතැම් කෙනෙක් අතිධාවන කෙරෙති යත්: තවද අතැම් කෙනෙක් භවයෙන් මැ පෙළෙනු ලබන්නාහු ලජ්ජාවට පැමිණෙන්නාහු ජුගුප්සාවට පැමිණෙන්නාහු උච්ඡේදයට සතුටු වෙත්. භවත්නි, යම් තැනක පටන් මේ ආත්මය කාබුන් මරණින් මත්තෙහි සිඳේ ද වැනැසේ ද මරණින් මත්තෙහි විද්‍යමාන නො වේ ද තෙල (සිඳීම) ශාන්ත යැ තෙල ප්‍රණීත යැ තෙල යථාස්වාභාවය ල’යි. මහණෙනි, මෙසෙයින් ඇතැම් කෙනෙක් අතිධාවන කෙරෙත්.
මහණෙනි, කිසෙයින් ඇස් අත්තාහු මැ දකිති යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙම භූතය (හේතුයෙන් උපන් ස්කන්‍ධපඤ්චක සඞ්ඛ්‍යාත දුඃඛය) භූත (දුඃඛ) වශයෙන් දකී. භූතය භූතවශයෙන් දැක භූතයාගේ නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ. මහණෙනි, මෙසෙයින් ඇස් ඇත්තාහු මැ දකිත්.
“යමෙක් භූතය භූතවශයෙන් දැක භූතයාගේ ඉක්මවීම (නිරෝධය) ද දැක භවතෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙන් යථාස්වභාව වූ නිරෝධයෙහි අධිමුක්ත වේ ද, (1)
ඒ අර්‍හත් තෙමේ ඒකාන්තයෙන් භූත සඞ්ඛ්‍යාත දුඃඛය පිරිසිඳ දත්තේ කුදුමහත් භවයෙහි පහවූ තෘෂ්ණා ඇත්තේ භූත සඞ්ඛ්‍යාත වර්‍තත දුඃඛයාගේ සිඳීමෙන් පුනර්‍භවයට නො පැමිණේ’ යයි. (2)
පුද්ගලයෝ තිදෙනෙක් විරූපභාවයට ගිය දෘෂ්ටි ඇත්තාහු යැ පුද්ගලයෝ තිදෙනෙක් සුන්‍දරභාවයට ගිය දෘෂ්ටි ඇත්තාහු යැ.
කවර පුද්ගලයෝ තිදෙනෙක් විරූපභාවයට ගිය දෘෂ්ටි ඇත්තාහු ද යත්: තීර්‍ත්‍ථක යැ තීර්‍ත්‍ථකශ්‍රාවක යැ යමෙකුත් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ නම් හේ යැ. මොහු විරූපභාවයට ගිය දෘෂ්ටි ඇති තුන් පුඟුලෝ යි.
කවර පුද්ගලයෝ තිදෙනෙක් සුන්‍දරභාවයට ගිය දෘෂ්ටි ඇත්තාහු ද යත්: තථාගත යැ තථාගතශ්‍රාවක යැ යමෙකුත් සම්‍යග්දෘෂ්ටි ඇත්තේ නම් හේ යැ. මොහු සුන්‍දරභාවයට ගිය දෘෂ්ටි ඇති තුන් පුඟුලෝ යි.