70. යමකප්රාතිහාර්ය්යඥානය
තථාගතයන් වහන්සේගේ යමකප්රාතිහාර්ය්යඥානය කවරෙ යත්:
මෙහි තථාගත තෙම ශ්රාවකයන් හා අසාධාරණ වූ යමකප්රාතිහාර්ය්යය කෙරෙයි. උඩුකයින් ගිනිකඳ පවත්වයි, යටිකයින් දියදහර පවත්වයි, යටිකයින් ගිනිකඳ පවත්වයි, උඩුකයින් දියදහර පවත්වයි; පෙරපසින් ගිනිකඳ පවත්වයි, පසුපසින් දියදහර පවත්වයි; පසුපසින් ගිනිකඳ පවත්වයි, පෙරපසින් දියදහර පවත්වයි; දකුණැසින් ගිනිකඳ පවත්වයි, වමැසින් දියදහර පවත්වයි; වමැසින් ගිනිකඳ පවත්වයි, දකුණැසින් දියදහර පවත්වයි; දකුණුකන්සිළින් ගිනිකඳ පවත්වයි, වම්කන්සිළින් දියදහර පවත්වයි; වම්කන්සිළින් ගිනිකඳ පවත්වයි, දකුණුකන්සිළින් දියදහර පවත්වයි; දකුණුනැහැසිළින් ගිනිකඳ පවත්වයි, වම්නැහැසිළින් දියදහර පවත්වයි; වම්නැහැසිළින් ගිනිකඳ පවත්වයි, දකුණුනැහැසිළින් දියදහර පවත්වයි; දකුණුදසරියෙන් ගිනිකඳ පවත්වයි, වම්දසරියෙන් දියදහර පවත්වයි; වම්දසරියෙන් ගිනිකඳ පවත්වයි, දකුණුදසරියෙන් දියදහර පවත්වයි; දකුණතින් ගිනිකඳ පවත්වයි, වමතින් දියදහර පවත්වයි; වමතින් ගිනිකඳ පවත්වයි, දකුණතින් දියදහර පවත්වයි; දකුණුපසින් ගිනිකඳ පවත්වයි, වම්පසින් දියදහර පවත්වයි; වම්පසින් ගිනිකඳ පවත්වයි, දකුණුපසින් දියදහර පවත්වයි; දකුණුපයින් ගිනිකඳ පවත්වයි, වම්පයින් දියදහර පවත්වයි; වම්පයින් ගිනිකඳ පවත්වයි, දකුණුපයින් දියදහර පවත්වයි; එකෙකි ඇඟිල්ලෙන් ගිනිකඳ පවත්වයි, ඇඟිලි අතුරින් දියදහර පවත්වයි; ඇඟිලි අතුරින් ගිනිකඳ පවත්වයි, එකෙකි ඇඟිල්ලෙන් දියදහර පවත්වයි; එකෙකි රෝමයෙන් ගිනිකඳ පවත්වයි, එකෙකි රෝමයෙන් දියදහර පවත්වයි; එකෙකි රෝමකූපයෙන් ගිනිකඳ පවත්වයි, එකෙකි රෝමකූපයෙන් දියදහර පවත්වයි; නීල යැ පීත යැ ලෝහිත යැ අවදාත යැ මාඤ්ජිෂ්ඨ යැ ප්රභාස්වර යැ යන ෂඩ්වර්ණයන්ගේ රස්මිහු යුග්ම වැ පවතිත්.
බුදුහු සක්මන් කෙරෙති, නිර්මිත බුදුහු සිටිති හිඳිති ශයනය හෝ කෙරෙති; බුදුහු සිටිති, නිර්මිත බුදුහු සක්මන් කෙරෙති හිඳිති ශයනය හෝ කෙරෙති; බුදුහු හිඳිති, නිර්මිත බුදුහු සක්මන් කෙරෙති සිටිති ශයනය හෝ කෙරෙති; බුදුහු ශයනය කෙරෙති, නිර්මිත බුදුහු සක්මන් කෙරෙති සිටිති නිසීදනය හො කෙරෙති; නිර්මිත බුදුහු සක්මන් කෙරෙති, බුදුහු සිටිති හිඳිති ශයනය හො කෙරෙති; නිර්මිත බුදුහු සිටිති, බුදුහු සක්මන් කෙරෙති හිඳිති ශයනය හෝ කෙරෙති; නිර්මිත බුදුහු හිඳිති, බුදුහු සක්මන් කෙරෙති සිටිති ශයනය හෝ කෙරෙති; නිර්මිත බුදුහු ශයනය කෙරෙති, බුදුහු සක්මන් කෙරෙති සිටිති නිසීදනය හෝ කෙරෙත් යයි.
මේ තථාගතයන් වහන්සේගේ යමකප්රාතිහාර්ය්යඥාන යි.
යමකප්රාතිහාර්ය්යඥාන නිර්දේශ යි.
71. මහාකරුණාසමාපත්තිඥානය
තථාගතයන් වහන්සේගේ මහාකරුණාසමාපත්තිඥානය කවරෙ යත්:
බහුප්රකාරයෙන් (නුවණැසින් හා බුදු ඇසින් හා) බලන්නා වූ භාග්යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්වයන් කෙරෙහි බැසැගනී: ‘ලෝකසන්නිවාසය තෙම (රාගාදීන් විසින්) ආදීප්ත යැ’යි දක්නා වූ භාග්යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝකසන්නිවාසය තෙම (නොයෙක් කටයුත්තෙහි) උත්සාහ සහිත යැ’යි දක්නා වූ භාග්යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝකසන්නිවාසය තෙම මරණයට නික්මැගියේ යැ’යි දක්නා වූ භාග්යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝකසන්නිවාසය තෙම නො මඟට පිළිපන්නේ යැ’යි දක්නා වූ භාග්යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්වයන් කෙරෙහි බැසැගනී. ලෝවැසි තෙම අස්ථිර වූයේ ජරාවශයෙන් මරණයට ගෙනයනු ලැබේ ය’යි දක්නා වූ භාග්යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝවැසි තෙම අස්වසාලිය හැක්කෙක් නැත්තේ අනාරක්ෂක වූයේ යැ’යි දක්නා වූ භාග්යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝවැසි තෙම (අයැති යයි ගන්නාලද) සියල්ල හැරපියා යායුතු යැ (එහෙයින් මැ) තමා අයැතියක් නැත්තේ යැ’යි දක්නා වූ භාග්යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝවැසි තෙම තෘෂ්ණාවට දාස වූයේ නො තිත් වූයේ ඌන වූයේ යැ’යි දක්නා වූ භාග්යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝකසන්නිවාසය තෙම අනාරක්ෂක යැ’යි දක්නා වූ භාග්යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්වයන් කෙරෙහි බැසැගනී. ලෝකසන්නිවාසය තෙම නිශ්රය රහිත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම අසරණැ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම අසරණ වූයේ යැ’යි දක්නා වූ ...
‘ලෝවැසි තෙම නො සන්හුන් වූයේ උද්ධත යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම බොහෝ වූ හුලින් විදුනා ලද්දේ සශල්ය වූයේ යැ. මා තබා ඒ ලෝකසන්නිවාසයාගේ හුල් උදුරන අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ලෝකසන්නිවාසය තෙම කෙලෙස්මැඳිරියෙහි බහාලන ලද්දේ අවිද්යාන්ධකාර නැමැති ආවරණ ඇත්තේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසයට අලෝකය දක්වනසුලු අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම අවිද්යාවට පිවිසියේ අවිද්යාණ්ඩකෝෂයෙහි උපන්නේ හාත්පසින් බඳනාලද්දේ හූවටක් සෙයින් ආකූල වූයේ ලිහිණිකසල්ලක් බඳු වූයේ මුදුතණබබුස්තණ බඳු වූයේ අය සඞ්ඛ්යාත සැපයෙන් පහවූ දුකට ගති වූ විවස වැ පතිත වන සසර නො ඉක්මේ’යයි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම අවිද්යා සඞ්ඛ්යාත විෂදෝෂයෙන් මොනොවට තැවැරුණේ හටගත් කෙලෙස්කලල් ඇත්තේ යැ’යි දක්නා වූ ...
‘ලෝකසන්නිවාසය තෙම රාගද්වේෂමෝහ සඞ්ඛ්යාත ජටායෙන් මැසුණේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසයාගේ (කෙලෙස්) ජටා සිඳුනා අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණා නැමැති සගුළුයෙහි පිවිසියේ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණා නමැති දැලින් හාත්පසින් වෙළන ලද්දේ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණාස්රෝතසින් අදනාලැබේ ය’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණාසංයෝජනයෙන් බඳනාලදැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණානුශයයෙන් අනුගත යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණාසන්තාපයෙන් තවනු ලැබේ’ යැයි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණාපරිදාහයෙන් දවනු ලැබේ’ යැයි දක්නා වූ ...