6. උදයව්‍යය ඥානය
කිසෙයින් වර්‍තමාන ස්කන්‍ධධර්‍මයන්ගේ විපරිණාමය දැකීමෙහි ප්‍රඥාව උදයව්‍යයානුදර්‍ශනඥාන වෙයි යත්:
(සන්තතිවශයෙන්) උපන් රූපය ප්‍රත්‍යුත්පන්න වෙයි. ඒ රූපයාගේ නිර්‍වෘත්තිලක්‍ණය (අභිනිවාකාරය) උදය නමැ. විපරිණාමලක්‍ෂණය ව්‍යය නමැ. පුනපුනා නුවණින් බැලීම උදයව්‍යඥාන යි.
උපන් වේදනාව ... උපන් සංඥාව ... උපන් සංස්කාරයෝ ... උපන් විඥානය ... උපන් චක්‍ෂුස ... උපන් භවය ප්‍රත්‍යුත්පන්න වෙයි. ඒ භවයාගේ නිර්‍වෘත්තිලක්‍ෂණය උදය නමැ. විපරිණාමලක්‍ෂණය ව්‍යය නමැ. අනුපස්සනාව උදයව්‍යඥාන යි.
පඤ්චස්කන්‍ධයන්ගේ උදය දකිනුයේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, ව්‍යය දකිනුයේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද උදයව්‍යය දකිනුයේ කෙතෙක් ලක්‍ෂණයන් දකි ද යත්:
පඤ්චස්කන්‍ධයන්ගේ උදය දකිනුයේ පස්විසි ලක්‍ෂණයන් දකී. ව්‍යය දකිනුයේ පස්විසි ලක්‍ෂණයන් දකී. උදයව්‍යය දකිනුයේ පනස් ලක්‍ෂණයන් දකී.
රූපස්කන්‍ධයාගේ උදය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, ව්‍යය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, උදයව්‍යය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, වේදනාස්කන්‍ධයාගේ ... සංඥාස්කන්‍ධයාගේ ... සංස්කාරස්කන්‍ධයාගේ ... විඥානස්කන්‍ධයාගේ උදය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, ව්‍යය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, උදයව්‍ය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, යත්:
රූපස්කන්‍ධයාගේ උදය දක්නේ ලක්‍ෂණ පසක් දකී. ව්‍යය දක්නේ ලක්‍ෂණ පසක් දකී. උදයව්‍යය දක්නේ ලක්‍ෂණ දසයක් දකී. වේදනාස්කන්‍ධයාගේ ... සංඥාස්කන්‍ධයාගේ ... සංස්කාරස්කන්‍ධයාගේ ... විඥානස්කන්‍ධයාගේ උදය දක්නේ ලක්‍ෂණ පසක් දකී. ව්‍යය දක්නේ ලක්‍ෂණ පසක් දකී. උදයව්‍යය දක්නේ ලක්‍ෂණ දසයක් දකී.
රූපස්කන්‍ධයාගේ උදය දක්නේ කවර පඤ්චලක්‍ෂණයන් දකී ද යත්, අවිද්‍යාසමුදයෙන් රූපයාගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් රූපස්කන්‍ධයාගේ උදය දකී. තෘෂ්ණාසමුදයෙන් රූපයාගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් රූපස්කන්‍ධයාගේ උදය (ඉපැදීම) දකී. කර්‍මසමුදයෙන් රූපයාගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් රූපස්කන්‍ධයාගේ උදය දකී. ආහාරසමුදයෙන් රූපයාගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් රූපස්කන්‍ධයාගේ උදය දකී. (අද්ධා-සන්තති-ඛණ වශයෙන් රූපයාගේ) උත්පාදලක්‍ෂණය දක්නේ ද රූපස්කන්‍ධයාගේ ඉපැදීම දකී. රූපස්කන්‍ධයාගේ උදය දක්නේ මේ ලක්‍ෂණ පස දකී.
ව්‍යය දක්නේ කවර පඤ්චලක්‍ෂණයන් දකී ද යත්: අවිද්‍යානිරෝධයෙන් රූපනිරෝධය වේ යැ යි ප්‍රත්‍යයාගේ නිරුද්ධභාවයෙන් රූපස්කන්‍ධයාගේ ව්‍යය දකියි. තෘෂ්ණානිරෝධයෙන් රූපයාගේ අනුත්පාදනිරෝධය වේ යැ යි ප්‍රත්‍යයනිරුද්ධභාවයෙන් රූපස්කන්‍ධයාගේ ව්‍යය දකියි. කර්‍මයාගේ නිරෝධයෙන් රූපයාගේ අනුත්පාදනිරෝධය වේ යැ යි ප්‍රත්‍යයාගේ නිරුද්ධභාවයෙන් රූපස්කන්‍ධයාගේ ව්‍යය දකියි. ආහාරනිරෝධයෙන් රූපයාගේ අනුත්පාදනිරෝධය වේ යැ යි ප්‍රත්‍යයාගේ නිරුද්ධභාවයෙන් රූපස්කන්‍ධයාගේ ව්‍යය දකියි. (අද්ධා-සන්තති-ඛණ වශයෙන් රූපයාගේ) භඞ්ගය දක්නේ ද රූපස්කන්‍ධයාගේ ව්‍යය දකී. රූපස්කන්‍ධයාගේ ව්‍යය දක්නේ මේ පඤ්චලක්‍ෂණයන් දකී.
උදයව්‍යය දක්නේ මේ දශලක්‍ෂණයන් දකී.
වේදනාස්කන්‍ධයාගේ උදය දක්නේ කවර ලක්‍ෂණ පසක් දකී ද යත්: අවිද්‍යාසමුදයෙන් වේදනාවගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් වේදනාස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. තෘෂ්ණාසමුදයෙන් වෙදනාසමුදය වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් වේදනාස්කන්‍ධයාගේ උදය දකියි. කර්‍මසමුදයෙන් වෙදනාසමුදය වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් වේදනාස්කන්‍ධයාගේ උදය දකියි. ස්පර්‍ශයාගේ සමුදයෙන් වෙදනාසමුදය වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් වේදනාස්කන්‍ධයාගේ උදය දකියි. උත්පාදලක්‍ෂණය දක්නේ ද වේදනාස්කන්‍ධයාගේ උදය දකී. වේදනාස්කන්‍ධයාගේ උදය දක්නේ මේ පඤ්චලක්‍ෂණයන් දකී.
ව්‍යය දක්නේ කවර පඤ්චලක්‍ෂණයන් දකී ද යත්: අවිද්‍යාවගේ අනුත්පාද නිරෝධයෙන් වේදනාවගේ නිරෝධය වේ යැ යි ප්‍රත්‍යය නිරුද්ධ බැවින් වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දකියි. තෘෂ්ණානිරෝධයෙන් වේදනානිරෝධය වේ යැ යි ප්‍රත්‍යනිරුද්ධ බැවින් වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දකියි. කර්‍මනිරෝධයෙන් වේදනානිරෝධය වේ යැ යි ප්‍රත්‍යනිරුද්ධ බැවින් වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දකියි. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ යැ යි ප්‍රත්‍යනිරුද්ධභාවයෙන් වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දකියි. විපරිණාමලක්‍ෂණය (වේදනාභඞ්ගය) දක්නේ ද වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දකී. වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දක්නේ මේ පඤ්චලක්‍ෂණයන් දකී.
උදයව්‍යය දක්නේ මේ දශලක්‍ෂණයන් දකී.
සංඥාස්කන්‍ධයාගේ ... සංස්කාරස්කන්‍ධයාගේ ... විඥානස්කන්‍ධයාගේ ... උදය දක්නේ කවර පඤ්චලක්‍ෂණයන් දකී ද යත්: අවිද්‍යාසමුදයෙන් විඥානයාගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යසමුදයභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. තෘෂ්ණාසමුදයෙන් විඥානසමුදය වේ යැ යි ප්‍රත්‍යයසමුදයභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. කර්‍මසමුදයෙන් විඥානසමුදය වේ යැ යි ප්‍රත්‍යය සමුදයභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. නාමරූපසමුදයෙන් විඥානසමුදය වේ යැ යි ප්‍රත්‍යයසමුදයභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. උත්පාදලක්‍ෂණය දක්නේ ද විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකී. විඥානස්කන්‍ධයාගේ උදය දක්නේ මේ පඤ්චලක්‍ෂණයන් දකි.