53. පූර්වනිවාසානුස්මෘති ඥානය
කිසෙයින් ප්රත්යයොත්පන්නධර්මයන්ගේ නානාත්ව ඒකත්ව කර්මවේගවශයෙන් දැනගැනීමෙහි ප්රඥාව පූර්වනිවාසානුස්මෘතිඥානය වෙයි යත්:
මෙ සස්නෙහි මහණ ඡන්දසමාධිය ... මෘදු වූවක් කර්මණ්ය වූවක් කොට මෙසේ දැනැනියි: මේ ප්රත්යය ඇති කල්හි මේ ප්රත්යයොත්පන්නය වෙයි, මේ ප්රත්යයාගේ උත්පාදය හේතු කොට ගෙන මේ ප්රත්යයොත්පන්නය උපදී. ඒ මෙසේ යැ: අවිද්යාප්රත්යයෙන් සංස්කාරයෝ උපදිති. සංස්කාරප්රත්යයෙන් ප්රතිසන්ධිවිඥානය උපදියි. විපාකවිඥානප්රත්යයෙන් නාමරූපය උපදියි. නාමරූපප්රත්යයෙන් ෂඩායතනය උපදියි. ෂඩායතනප්රත්යයෙන් ස්පර්ශය උපදියි. ස්පර්ශප්රත්යයෙන් වේදනාව උපදියි. වේදනා ප්රත්යයෙන් තෘෂ්ණාව උපදියි. තෘෂ්ණාප්රත්යයෙන් උපාදානය උපදියි. උපාදාන ප්රත්යයෙන් භවය උපදියි. කර්මභවප්රත්යයෙන් ජාතිය උපදියි. ජාතිප්රත්යයෙන් ජරාමරණය උපදියි. ශෝකපරිදේව දුඃඛදෞර්මනස්යෝපායාසයෝ උපදිත්. මෙසේ තෙල අසම්මිශ්ර වූ දුඃඛරාශිහුගේ සමුදය වේ. හෙතෙම එසේ භාවිත වූ පරිශුද්ධ වූ ප්රභාස්වර වූ සිතින් පූර්වනිවාසානුස්මෘතිඥානය පිණිස සිත එළවයි, නැඹුරු කෙරෙයි.
හෙතෙම අනේක ප්රකාර වූ පෙරවිසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. ඒ මෙසේ යි: එක් ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුනකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දසයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතලිසකුදු ජාති පනසකුදු ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සුවහසකුදු නොයෙක් සංවර්තකල්පයනුදු නොයෙක් විවර්තකල්පයනුදු නොයෙක් සංවර්තවිවර්තකල්පයනුදු අසවල් තැන මෙබඳු නම් ඇතියෙම් මෙබඳු ගෝත්ර ඇතියෙම් මෙබඳු පැහැසටහන් ඇත්තෙම් මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සුවදුක් විඳුනාසුලු වූයෙම් මෙබඳු ආයුපරිච්ඡේද ඇතියෙම් වීමි. ඒ මම එයින් සැව මෙහි උපන්මි’යී. මෙසේ (නම්ගොත් විසින්) උද්දේශ සහිත වූ (පැහැසටහන් විසින්) ආකාර සහිත වූ නානාප්රකාර වූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි.
එය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ ප්රජානනාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘පච්චයපවත්තානං ධම්මානං නානත්තේකත්තකම්මවිප්ඵාරවසේන පරියෝගාහනෙ පඤ්ඤා පුබ්බේනිවාසානුස්සති ඤාණං’යි.
පූර්වනිවාසානුස්මෘතිඥානනිර්දේශ යි.
54. දිව්යචක්ෂුර් ඥානය
කිසෙයින් කසිණොභාස වශයෙන් නානාස්වභාව ඒකස්වභාව වර්ණායතනය දක්නා ස්වභාව වූ ප්රඥාව දිව්යචක්ෂූර්ඥාන වෙයි යත්:
මෙ සස්නෙහි මහණ ඡන්දය අධික කොට ඇති සමාධිය හා ප්රධාන වීර්ය්යයෙන් සමන්විත වූ ඍද්ධිපාදය වඩයි. වීර්ය්යය අධික කොට ඇති සමාධිය ... චිත්තය අධික කොට ඇති සමාධිය ... වීමංසාව අධික කොට ඇති සමාධිය හා ප්රධාන වීර්ය්යයෙන් සමන්විත වූ ඍද්ධිපාදය වඩයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුනපුනා වඩයි. දමනය කෙරෙයි මෘදු වූවක් කර්මණ්ය වූවක් කෙරෙයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුනපුනා වඩා දමනය කොට මෘදු වූවක් කර්මණ්ය වූවක් කොට ආලෝක සංඥාව මෙනෙහි කෙරෙයි. ‘දවාලැ’යි යන සංඥාව ඉටයි. යම්සේ දහවල්හි ආලොකය දක්නාලද ද එසේ මැ රාත්රියෙහි දු මෙනෙහි කෙරෙයි. යම්සේ රාත්රියෙහි දිබ්බචක්ඛුආලෝකයෙන් දක්නාලද ද එසේ මැ දහවල් හි දු මෙනෙහි කෙරෙයි. මෙසේ විවෘත වූ හාත්පසින් නො වැසුණු සිතින් අවභාස සහිත වූ සිත වඩයි.
හේ එසෙයින් භාවිත වූ පරිශුද්ධ වූ ප්රභාස්වර වූ සිතින් සත්ත්වයන්ගේ ච්යුතිඋත්පත්ති දන්නා ඥානය පිණිස සිත එළවයි, නැඹුරු කෙරෙයි. හේ පරිශුද්ධ වූ මිනිසැස ඉක්මසිටි දිවැසින් ච්යුත වන්නා වූ උපදනා වූ හීන වූ ප්රණීත වූ සුන්දරවර්ණ වූ දුර්වර්ණ වු සුගතියට ගිය දුගතියට ගිය සත්ත්වයන් දකී. කම් වූ පරිද්දෙන් පරලොව ගිය සත්ත්වයන් දැනගනියි: ‘ඒකාන්තයෙන් මේ භවත් සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්ය්යොපවාදක වූවාහු මිථ්යාදෘෂ්ටි ඇත්තාහු මිථ්යාදෘෂ්ටිකර්මසමාදාන ඇත්තාහු ය. ඔහු කාබුන් මරණින් මත්තෙහි සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස ව පතිත වන නිරයට (ප්රතිසන්ධි විසින්) පැමිණියාහු ය. තවද මේ භවත් සත්ත්වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාග්සුචරිතයෙන් යුක්ත වූවාහු මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්ය්යෝපවාද නො කළාහු සම්යග්දෘෂ්ටි ඇත්තාහු සම්යග්දෘෂ්ටිකර්මසමාදාන ඇත්තාහු ය. ඔහු කාබුන් මරණින් මත්තෙහි සුන්දරගති ඇති සුවයෙන් අග්ර වූ දෙව්ලොවට (ප්රතිසන්ධි විසින්) පැමිණියාහු’ යයි. මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මසිටි දිවැසින් ච්යුත වන්නා වූ උපදනා වූ හීන වූ ප්රණීත වූ සුවර්ණ වූ දුර්වර්ණ වූ සුගතියට ගිය දුගතියට ගිය සත්ත්වයන් දකී. කම් වූ පරිද්දෙන් පරලොව ගිය සත්ත්වයන් දැනගනී.
එය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ ප්රජානනාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි. ‘ඕභාසවසේන නානත්තේකත්තරූපනිමිත්තානං දස්සනට්ඨෙ පඤ්ඤා දිබ්බචක්ඛුඤාණං’යි.
දිව්යචක්ෂුර්ඥානනිර්දේශ යි.