5. සම්මර්‍ශන ඥානය
කිසෙයින් අතීතානාගත ප්‍රත්‍යුත්පන්න (පඤ්චස්කන්‍ධ) ධර්‍මයන් (කලාප විසින්) රැස් කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන වෙයි යත්.
අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්ම වූ හෝ බාය්‍ය වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, දුරැ වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙක් වේ ද, එ හැම රූපය අනිත්‍ය හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. දුක් හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. අනාත්ම හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකි.
යම් කිසි වේදනායෙක් ... යම් කිසි සංඥායෙක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්ම වූ හෝ බාය්‍ය වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඥානයෙක් වේ ද, දුරැ වු හෝ ළඟ වූ හෝ යම් විඥානයෙක් වේ ද, එ හැම විඥානය අනිත්‍ය හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. දුඃඛ හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. අනාත්ම හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකි.
චක්‍ෂුස ... අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ ජරාමරණය අනිත්‍ය හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. දුක් හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. අනාත්ම හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකි.
අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ රූපය ක්‍ෂය වන බැවින් අනිත්‍ය යැ, ප්‍රතිභය බැවින් දුඃඛ යැ, ආත්මසාර රහිත බැවින් අනාත්ම යැ, සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යැ. වේදනාව ... සංඥාව ... සංස්කාරයෝ විඥානය ... චක්‍ෂුස ... අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ ජරාමරණය ක්‍ෂය වන බැවින් අනිත්‍ය යැ, ප්‍රතිභය සහිත බැවින් දුඃඛ යැ, ආත්මසාර රහිත බැවින් අනාත්ම යැ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යි.
අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ රූපය අනිත්‍ය යැ. ප්‍රත්‍යයසමවායෙන් කරන ලද. ප්‍රත්‍යයන් නිසා උපන්නේ යැ. ක්‍ෂය වන සුලු යැ, නැසෙන සුලු යැ, නො ඇලෙන සුලු යැ, නිරුද්ධ වන සුලු යැ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යැ. වේදනාව ... සංඥාව ... සංස්කාරයෝ .. විඥානය ... චක්‍ෂුස ... අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ ජරාමරණය අනිත්‍ය යැ ප්‍රත්‍යයන් විසින් කරන ලද. ප්‍රත්‍යයන් නිසා උපන්නේ යැ. ක්‍ෂය වනසුලු යැ, නැසෙනසුලු යැ, නො ඇලෙනසුලු යැ, නිරුද්ධ වනසුලු යැ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යි.
ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යැ. අතීතකාලයෙහි දු ... අනාගතකාලයෙහි දු ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යි.
භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි ... උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි ... තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි ... වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි ... ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි ... ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි ... නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන වෙයි ... විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි ... සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි ... අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නැත්තාහ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යි.
අතීතකාලයෙහි දු ... අනාගතකාලයෙහි දු අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නැත්තාහ’යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥානයි.
ඒ දැනීම ඥාතාර්‍ත්‍ථයෙන් ඥන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි. ‘අතීතානාගතපච්චුප්පන්නානං ධම්මානං සඞ්ඛිපිත්‍වා වවත්‍ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං’ යි.
සම්මර්‍ශනඥාන නිර්දේශ යි.